පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ඓතිහාසික මෙන්ම අතිශය තීරණාත්මක නඩු තීන්දුවක් මේ වන විට මෙරට මූල්‍ය හා බැංකු ක්ෂේත්රය තුළ දැඩි කම්පනයක් සහ කතාබහක් නිර්මාණය කර තිබේ. එම නඩු තීන්දුවට අනුව, ණයක් වෙනුවෙන් ඇපකරුවෙකු වන පුද්ගලයෙකු ගිවිසුමේ කොන්දේසි කඩ කරන්නේ නම්, ප්‍රධාන ණයකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමකින් තොරව සෘජුවම ඇපකරුට එරෙහිව නඩු පැවරීමට බැංකුවකට නීත්‍යානුකූල අයිතියක් පවතින බව තහවුරු කර ඇත.

නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන නඩු තීන්දුවේ නෛතික පසුබිම සහ අනාගතයේදී නිර්මාණය විය හැකි යැයි අපේක්ෂා කරන බරපතළ සමාජ ඛේදවාචකය.
ඩී.එෆ්.සී.සී. (DFCC) බැංකු නඩුවෙන් දුන් පූර්වාදර්ශය

ඩී.එෆ්.සී.සී. බැංකුවෙන් ලබාගත් ණය පහසුකමක් නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන්, ප්‍රධාන ඇපකරුවෙකුට එරෙහිව වාණිජ මහාධිකරණය මගින් ලබා දී තිබූ නියෝගයක් වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණාත්මක තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී අවධානයට ලක්විය යුතු ප්‍රධාන නෛතික කරුණු කිහිපයකි..,
රෝම ලන්දේසි නීතිය යටතේ ප්‍රධාන ණය ගැතියාට පළමුව නඩු පැවරිය යුතු බවට අවධාරණය කිරීමට ඇපකරුවෙකුට සාමාන්‍යයෙන් අයිතියක් ඇත. එහෙත්, ණය ගිවිසුමක් හරහා අදාළ ඇපකරු විසින් එම අයිතිය අත්හැරීමට (Waive off) එකඟ වී ඇත්නම්, බැංකුවට සෘජුවම ඇපකරු වෙත නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී පැහැදිලි කළේය.
“නොදැන අත්සන් කළා”

“තමන් හිස් කඩදාසිවලට අත්සන් කළ බවත්, ලේඛනවල අන්තර්ගතය නොදැන සිටි බවත්” විත්තිකරු කළ ප්‍රකාශය ද අධිකරණය දැඩිව ප්‍රතික්ෂේප කළේය. අදාළ පුද්ගලයා නූගත්, අන්ධ හෝ ගනුදෙනුව තේරුම් ගැනීමට නොහැකි විශේෂිත අයෙකු නම් මිස, එවැනි දුර්වල තර්කයක් මත නීතියෙන් ගැලවිය නොහැකි බව අධිකරණය අවධාරණය කර ඇත.
බැංකු සහ මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය මෙන්ම ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මෙය නීතිමය වශයෙන් අතිශය නිවැරදි සහ කාලෝචිත තීන්දුවකි.
නීතිමය යථාර්ථය හමුවේ මතු වන සමාජ ඛේදවාචකය
නීතියේ අකුර කොතරම් නිවැරදි වුවද, අප ජීවත් වන්නේ සංකීර්ණ සමාජ ක්‍රමයක් තුළය. මෙම තීන්දුව හරහා අනාගත සමාජය සහ ආර්ථිකය මුහුණ දෙන ප්‍රායෝගික අර්බුදය ඉතා බරපතළය.
- ඇපකරුවන් සෙවීම කළුනික සෙවීමක් වීම
මින් ඉදිරියට, කෙතරම් සමීප හිතවතෙකුගේ හෝ ඥාතියෙකුගේ ණයකට වුවද ඇපකරුවෙකු ලෙස අත්සන් තැබීමට ඕනෑම අයෙකු දැඩි බියක් දක්වනු ඇත. ඇපයකට අත්සන් කිරීම යනු හුදු මිත්‍ර කමකට කරන උපකාරයක් නොව, තම මුළු ජීවිතයත්, දරු පවුලත්, දේපළත් බරපතළ අවදානමකට ලක් කරගැනීමක් බවට මෙම නඩු තීන්දුවත් සමඟ දැන් සමාජය තුළ තහවුරු වී හමාරය. අර්බුදයකදී බැංකුව මුලින්ම පැමිණෙන්නේ කපටි ණයකරු සොයා නොව, නීතියේ රැහැනට පහසුවෙන්ම අල්ලා ගත හැකි අහිංසක ඇපකරු සොයා බව මෙමගින් සනාථ වේ. - අවිධිමත් මූල්‍ය ජාවාරම්වලට රතු පලසක්
ඇපකරුවන් සොයාගැනීමේ ප්‍රායෝගික අපහසුව හේතුවෙන් සාමාන්‍ය ජනතාවට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙන්ම හදිසි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින්ට විධිමත් මූල්‍ය ආයතන හරහා ණය ලබාගැනීමේ අවස්ථා ශීඝ්‍රයෙන් අවහිර වනු ඇත. බැංකුවක දොරටු වැසී යද්දී, සමාජයට විකල්ප සොයා යාමට සිදුවේ. එහි සෘජු සහ ඛේදනීය ප්‍රතිඵලය වන්නේ, “ඇපකරුවන් අවශ්‍ය නැත – පැයකින් ණය මුදල අතට” යන ආකර්ශනීය සටන් පාඨ යටතේ ක්‍රියාත්මක වන ණය මෝරුන් (Loan Sharks) වෙත ජනතාව ගොදුරු වීමයි. නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියෙන් විසිවන බහුතරයක් ජනතාව අවසානයේ නැවතෙන්නේ ගෙල සිරකරන පොලී අනුපාත අය කරන මෙම කූට ජාවාරම්කරුවන්ගේ ග්රහණයේය. - පාතාල බලහත්කාරය සහ ප්රචණ්ඩත්වය සමාජගත වීම
මෙම අවිධිමත් මූල්‍ය ජාවාරම් සඳහා සමාජයේ ඉල්ලුම වැඩි වෙද්දී, අනිවාර්යයෙන්ම මීළඟට සිදුවන්නේ මුදල් අයකර ගැනීමේ අමානුෂික ක්‍රමවේදයන් සමාජය තුළ සාමාන්‍යකරණය වීමයි. කූට ණය දෙන ආයතන හෝ පුද්ගලයින් ණය අයකර ගැනීමට අධිකරණ වෙත යන්නේ නැත. ඔවුන්ගේ එකම නීතිය “බලහත්කාරය සහ ප්රචණ්ඩත්වයයි”.
ණය අයකර ගැනීම සඳහා මැර කණ්ඩායම් සහ පාතාල සාමාජිකයින් යොදාගැනීමේ ප්‍රවණතාව මේ හරහා තවදුරටත් වර්ධනය වනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, මුදල් මත පදනම් වූ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ශක්තිමත් වීම සහ සමාජය තුළ ප්රචණ්ඩත්වය රජයන භීෂණකාරී පරිසරයක් නිර්මාණය වීමයි.

නීතියේ ආධිපත්‍යය මගින් ගිවිසුම්ගත බැඳීම් සුරක්ෂිත කළ යුතු බවට කිසිදු විවාදයක් නැත. එහෙත්, මෙම නඩු තීන්දුව හරහා මතුකර පෙන්වන සමාජ දෘෂ්ටාන්තය අතිශය භයානකය. පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ විධිමත් මූල්‍ය පද්ධතියෙන් මිනිසුන් ඈත් වී, සමස්ත සමාජයම ප්‍රචණ්ඩකාරී “මූල්‍ය පාතාලයකට” තල්ලු වීමේ බරපතළ අවදානමක් දැන් නිර්මාණය වී ඇත.
එබැවින්, බැංකු පද්ධතියේ සුරක්ෂිතතාව මෙන්ම සාමාන්‍ය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ද සමතුලිත කෙරෙන නව ප්‍රතිසංස්කරණ වෙත ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන ආයතනවල අවධානය වහා යොමු විය යුතුව ඇත. එසේ නොවුණහොත්, මූල්‍ය විනය වෙනුවට සමාජයට උරුම වනු ඇත්තේ ලේ වැකි මූල්‍ය ත්රස්තවාදයක් පමණි.



