ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රය මෙන්ම සමස්ත රාජ්‍ය පාලන තන්ත්රයම කම්පනයට පත්කළ ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ ඖෂධ (Human Immunoglobulin) ආනයනය කිරීමේ නඩුකරය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන්නේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයකට එළඹෙමිනි. නඩුවේ විත්තිවාචකය ආරම්භ වීමත් සමඟ, 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විත්ති කූඩුවේ සිට කළ දීර්ඝ හෙළිදරව්ව සහ අධිකරණය හමුවේ සභාගත වූ නිල ලේඛන මගින්, මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අවධානයෙන් ගිලිහී ගිය බරපතළ පරිපාලනමය හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් රැසක් කරළියට පැමිණ තිබේ.

මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වන කරුණු පිරික්සීමේදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, මෙම හදිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් පමණක් ක්‍රියාත්මක වූවක්ද, නැතහොත් ඊට ඉහළින් පැවති මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ සෘජු සම්බන්ධීකරණයක් ඊට පැවතියේද යන්නයි.
ඇමති දිවයිනෙන් බැහැරව සිටියදී හැදුණු ‘ව්‍යාජ මිනිත්තු වාර්තා’
පැමිණිල්ල විසින් ගොනු කර ඇති නඩු ගොනුවේ කොඳුනාරටිය බඳු ලේඛන වන්නේ, හදිසි ප්‍රසම්පාදන තීරණ ගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීම්වල සටහන්ය (Meeting Minutes). එම රැස්වීම් කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැති බවට නඩු ගොනුවේ සඳහන් වුවද, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ දින දෙකේදීම තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බැවින් එවැනි රැස්වීම් තම ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කිසිදු භෞතික හැකියාවක් නොතිබූ බවයි.
අධිකරණයට ඉදිරිපත් වූ ස්වාධීන නිල ලේඛන මගින්ද එම කරුණු සනාථ වන සාක්ෂි අනාවරණය වී ඇත:
- 2022 සැප්තැම්බර් 05 රැස්වීම: අදාළ රැස්වීම පැවැති බව ලේඛනගත කර ඇති දින හිටපු අමාත්‍යවරයා රැඳී සිට ඇත්තේ භූතානයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය 75 වන සැසිවාරයට සහභාගි වෙමිනි. ගුවන්ගමන් බලපත්‍රයේ ආගමන විගමන මුද්‍රා, නිල සමුළු වාර්තා මෙන්ම ඡායාරූප මගින්ද ඔහු දිවයිනේ නොසිටි බව තහවුරු වේ.
- 2022 ඔක්තෝබර් 10 රැස්වීම: එම රැස්වීම අමාත්‍යාංශයේ පැවැති බව කියන වේලාවේදී, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් (Yaden Laboratories) විවෘත කිරීමේ නිල රාජ්‍ය උත්සවයකට ඔහු එක්ව සිටියේය. සමරු ඵලකයේ දින සටහන්, ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප මෙන්ම පැමිණිල්ල පාර්ශ්වය විසින්ම ඉදිරිපත් කළ දුරකථන කුළුණු (Tower Location) වාර්තා මගින්ද ඔහු එදින උදෑසන කටුනායක සහ ජා-ඇළ ප්‍රදේශවල රැඳී සිටි බව සනාථ වී තිබේ.
විෂයභාර අමාත්‍යවරයා භෞතිකව නොසිටි අවස්ථාවක මෙවැනි රැස්වීම් සටහන් සකස් කර අමාත්‍යාංශ ලිපිගොනුවලට ඇතුළත් කළේ කවුරුන්ද යන්නත්, එම ලේඛන සැකසීමේ සැබෑ මූලාශ්‍රය සෙවීමට CID විමර්ශන මෙහෙයවූයේද යන්නත් මෙහිදී මතුවන ප්‍රබල ප්‍රශ්නාර්ථයකි.
කැබිනට් පත්‍රිකාව සහ මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම
නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය අධිකරණය හමුවේ තැබූ තවත් ලේඛනගත සාක්ෂියක් වන්නේ අදාළ හදිසි ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාවේ පසුබිමයි. අධිකරණයේදී අනාවරණය වූ පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින් ඉල්ලා තිබුණේ කොවිඩ් සමයේ පැවති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ තවදුරටත් දීර්ඝ කර දෙන ලෙසයි. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර, නව හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට නිර්දේශ කර ඇත්තේ එවකට පැවති මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා උපදෙස් මගිනි. එකල මුදල් අමාත්‍ය ධුරය හොබවන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
එපමණක් නොව, මෙම හදිසි මිලදී ගැනීම්වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ඇත්තේද මුදල් අමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමිනි. එහිදී එවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවල සම්බන්ධීකරණ කටයුතුවලට මෙන්ම පසු විපරම් කටයුතුවලට සෘජුව දායක වී ඇති බවට වන ලිපි ලේඛන සහ සටහන් විත්තිය විසින් අධිකරණයේ අවධානයට යොමු කර ඇත. තීරණවල ප්‍රගතිය වාර්තා කරමින් ලිපිගොනු ජනාධිපති ලේකම්වරයා සහ සාගල රත්නායක වෙත නිල මට්ටමින් යොමු වී ඇත්තේද එම පරිපාලන රාමුව තුළය.
CID විමර්ශනවල සීමාව ප්‍රශ්න කෙරෙයි
අධිකරණය හමුවේ සභාගත වූ මෙම නිල ලේඛන හමුවේ මතුවන බරපතළම කාරණය වන්නේ, මෙම ප්‍රසම්පාදන යාන්ත්රණයට ඉහළින් මඟපෙන්වූ මුදල් අමාත්‍යාංශ මැදිහත්වීම සහ එහි සම්බන්ධීකරණ කාර්යභාරය ඉටුකළ නිලධාරී තන්ත්රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රමාණවත් ලෙස කරුණු විමසා බැලුවේද යන්නයි.
විමර්ශනය එක් අමාත්‍යාංශයකට හෝ එක් පාර්ශ්වයකට පමණක් සීමා වූයේද? ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හැඩගැස්වූ, ප්‍රගති සමාලෝචන සම්බන්ධීකරණය කළ මෙන්ම ව්‍යාජ මිනිත්තු වාර්තා ලිපිගොනුවලට එක්වීමට තුඩුදුන් සමස්ත පරිපාලන ක්‍රියාවලියම විමර්ශන නිලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී ගියේද?
අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට කිසිදු අගතියක් නොවන පරිදි, නඩුවේ සභාගත වූ නිල ලේඛන සහ සාක්ෂි මත පමණක් පදනම්ව බලන කල, බාල බෙහෙත් ගෙන්වීමේ තීරණාත්මක පරිපාලන පසුබිම පිළිබඳව සමාජය හමුවේ මතුව ඇති මෙම බරපතළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සහ පැහැදිලි කිරීමක් සිදුවීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ.



