Latest Posts

ඩොලර් බිලියන 4.5ක ආයෝජන වෙස්මුහුණ පිටුපස සයිනොපෙක්හි විලෝපික නිරුවත: ශ්‍රී ලංකාව ගසාකෑමට හැදූ හැටි මෙන්න!

විශේෂ ගවේෂණාත්මක අනාවරණය | HariDeshayaLk

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම සෘජු විදේශ ආයෝජනය (FDI) ලෙස හුවාදක්වමින්, ඇමරිකානු ඩොලර් බිලියන 3.7 සිට 4.5 දක්වා අගයක් පෙන්වා හම්බන්තොට ඉදිකිරීමට ගිය සයිනොපෙක් (SINOPEC) තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුව (CANC) නිර්දේශ කර තිබේ.

මෙම තීරණයත් සමඟ ඇතැම් දේශපාලන ධාරාවන් සහ ලොබි කල්ලි මෙය “චීන විරෝධයක්” හෝ “ඉන්දීය බලපෑමක්” ලෙස පෙන්වීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටිති. එහෙත්, නීතිමය ලියකියවිලි සහ ප්‍රසම්පාදන වාර්තා පිරික්සීමේදී හෙළිදරව් වන්නේ මෙය කිසිදු භූ දේශපාලනික කාරණයක් නොව, සයිනොපෙක් නම් බහුජාතික දැවැන්තයා ශ්‍රී ලංකාව සතු ජාතික ධනය සහ ස්වභාවික සම්පත් අමු අමුවේ සූරාකෑමට ගිය නින්දිත උගුලක් බිඳ දැමීමක් බවයි.

නිල ලේඛන සාක්ෂි දරයි: CANC කමිටුව සයිනොපෙක් කුරුසියේ තබයි

2023 නොවැම්බර් 27 දිනැති අමප/23/2158/621/096/විබිආර් දරන කැබිනට් තීරණයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතියේදී, සයිනොපෙක් සමාගම සිය සැබෑ විලෝපික මුහුණුවර ප්‍රදර්ශනය කරමින් මුල් එකඟතා කුණු කූඩයට දැමීය. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුව (CANC) සහ ව්‍යාපෘති කමිටුව (PC) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මඟින් සයිනොපෙක් සමාගමට එරෙහිව දැඩි නිර්දේශ නිකුත් කෙරිණි:

  • සයිනොපෙක් ප්‍රදානය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම: චීනයේ ‘China Petroleum & Chemical Corporation’ (SINOPEC) වෙත අපනයන කේන්ද්‍රීය පිරිපහදුවක් වෙනුවෙන් ලබා දී තිබූ සියලු අනුමැතීන් එකහෙළා අවලංගු කිරීම.
  • නව තරගකාරී ප්‍රසම්පාදනයක් (Fresh RFP): විදේශීය දැවැන්තයෙකුගේ අත්තනෝමතික කොන්දේසිවලට යට නොවී, විවෘත සහ විනිවිද පෙනෙන නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම.

මෙම ඓතිහාසික නිර්දේශයට කමිටු සභාපති බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සහ ඒ.කේ.ඩී.ඩී. අරන්දර යන නිලධාරීහු නිල වශයෙන් අත්සන් තබා සයිනොපෙක්හි නීති විරෝධී උත්සාහයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.

රට ගසාකෑමට සයිනොපෙක් ඇටවූ කුමන්ත්‍රණකාරී දැල

සයිනොපෙක් සමාගම සාකච්ඡා මේසයට රැගෙන ආවේ සාධාරණ ආයෝජන යෝජනාවක් නොව, ශ්‍රී ලංකාව තම ආර්ථික යටත්විජිතයක් කරගැනීමේ කූට උපායමාර්ගයන්ය.

දේශීය වෙළෙඳපොළ ගිලගැනීම සහ CPC ආයතනය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය

මූලික ටෙන්ඩර් එකඟතාව (RFP) අනුව මෙම පිරිපහදුව 80%ක් විදේශයන්ට අපනයනය කළ යුතු වූ අතර, දේශීය වෙළෙඳපොළට විකිණිය හැකි වූයේ උපරිම 20%ක් පමණි. එහෙත් සයිනොපෙක් සමාගම සාකච්ඡා වටවලදී බලහත්කාරයෙන් ඉල්ලා සිටියේ දිනකට බැරල් 80,000ක්—එනම් සමස්ත ධාරිතාවෙන් 40%ක්—සෘජුවම දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ නීතිමය ඒකාධිකාරයයි. මෙය මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාවයද ඉක්මවා යන ප්‍රමාණයකි. සයිනොපෙක්හි යටි අරමුණ වූයේ මෙරට 50%කට වැඩි වෙළෙඳපොළ පංගුව හිමි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) බංකොලොත් කර, මෙරට ජාතික බලශක්ති සැපයුම තම සමාගමේ අණසකට නතු කරගැනීමයි.

ශතයක බද්දක් නොගෙවා ඩොලර් බිලියන ගණනක ලාභය පිටරට පැටවීමේ පිඹුරුපත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග මත මෙරට සාමාන්‍ය වැසියා සහ සුළු ව්‍යාපාරිකයා වැට් ඇතුළු දරුණු බදු බරින් හෙම්බත් කර තිබියදී, සයිනොපෙක් සමාගම ඉල්ලා සිටියේ වසර 35ක පූර්ණ ආයතනික ආදායම් බදු නිදහසකි. ඊට අමතරව රඳවා ගැනීමේ බදු (WHT) සහ තීරුබදු මුළුමනින්ම අහෝසි කරන ලෙසද ඔවුහු බලපෑම් කළහ. මෙරට තුළ උපයන බිලියන ගණනක ලාභයෙන් රජයට එකදු ඩොලරයක බද්දක් නොගෙවා තම මව් රටට ඇදගෙන යාමට සයිනොපෙක් දැරූ මෙම උත්සාහය, ශ්‍රී ලංකාවේ බදු ක්‍රමවේදයට සහ ජනතාවට කළ නිර්ලජ්ජිත නිග්‍රහයකි.

පානීය ජල සම්පත සූරාකෑම සහ මුදල් ඉතිරි කරගැනීමේ කෑදරකම

දිනකට බැරල් 200,000ක පිරිපහදුවකට අවශ්‍ය දැවැන්ත ජල ප්‍රමාණය වෙනුවෙන් මුහුදු ජලය පිරිසිදු කරන පවිත්‍රාගාරයක් (Desalination Plant) තමන්ගේ වියදමින් ඉදිකිරීමට මූලිකව එකඟ වී තිබුණද, සයිනොපෙක් සමාගම එම වියදම දැරීම එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කළේ දැනටමත් ජල හිඟයෙන් පීඩා විඳින හම්බන්තොට ජනතාවගේ සීමිත පානීය හා භූගත ජල සම්පත සූරාකෑමටය. තමන්ගේ ලාභය උපරිම කරගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ සමස්ත ජනතාවගේ පානීය ජල අයිතිය බිලිදීමට තරම් ඔවුන් අකාරුණික විය.

පාරිසරික නීතිවලට පයින් ගැසීම

ශ්‍රී ලංකාවේ පරිසර නීති සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්, ව්‍යාපෘතියට අත්‍යවශ්‍ය නෛතික පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) වාර්තාව ඉදිරිපත් කිරීම සයිනොපෙක් සමාගම දිගින් දිගටම පැහැර හැරියේය. දකුණු පළාතේ සාගර කලාපය සහ ගොඩබිම කාර්මික අපද්‍රව්‍යවලින් විෂ කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු වගවීමක් භාරගැනීමට ඔවුන් සූදානම් නොවීය.

නොමිලේ ඉඩම් කොල්ලය සහ විදුලිබල පද්ධතියට බලහත්කාරකම් පෑම

මූලික සැලසුමට අමතරව තවත් අක්කර 100ත් 200ත් අතර දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් නොමිලේ ලබාදෙන ලෙස බලපෑම් කළ සයිනොපෙක්, තම පිරිපහදුවේ අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අනිවාර්යයෙන් මිලදී ගන්නා ලෙස රජයට තර්ජනාත්මක කොන්දේසි පැනවීය. රාජ්‍ය වරප්‍රසාද සහ විශේෂ විදේශ විනිමය නිදහසක් ඉල්ලමින් රටේ නීතියට ඉහළින් වැජඹීමට සයිනොපෙක් ගත් උත්සාහය කිසිදු ස්වෛරී රාජ්‍යයකට ඉවසිය නොහැක්කකි.

“භූ දේශපාලනික බිල්ලා”: සයිනොපෙක් ඒජන්තයන්ගේ ප්‍රචාරක වියරුව

සයිනොපෙක් ගනුදෙනුව අත්හිටුවීමත් සමඟ ඇතැම් මාධ්‍ය සහ විදේශ අරමුදල් ලබන ඇතැම් කල්ලි “චීන විරෝධයක්” ගැන බෙරිහන් දෙන්නට පටන් ගත්තේය. මෙහි සැබෑ අරමුණ වූයේ සයිනොපෙක් සමාගම ඉදිරිපත් කළ මේ ම්ලේච්ඡ කොන්දේසි මහජනතාවගෙන් වසන් කිරීමයි.

ඩොලර් බිලියන 4ක ලේබලය ඇලවූ පමණින් රටේ නීතිය, බදු ක්‍රමය, ස්වභාවික ජල සම්පත සහ ජාතික තෙල් සංස්ථාව විනාශ කරන ව්‍යාපෘතියක් බදාගත යුතු යැයි තර්ක කරන පුද්ගලයින් ක්‍රියාත්මක වන්නේ ජාතික අවශ්‍යතාව මත නොව, සයිනොපෙක් වැනි දැවැන්තයන් වෙනුවෙන් පෙනී සිටින ලොබි වුවමනාවන් වෙනුවෙනි. ආයෝජනයක නාමයෙන් මෙරට ආර්ථික නහර සිඳලීමට ආ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම “භූ දේශපාලනික ගැටුමක්” ලෙස පෙන්වා රට මුළා කිරීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුය.

චීන හෝ ඉන්දීය ආධිපත්‍යයකට නොව ජාතික ස්වෛරීභාවයට මුල්තැන

සයිනොපෙක්හි විලෝපික ආක්‍රමණය පරාජය කළා සේම, මෙම පිරිපහදු ව්‍යාපෘතිය හෝ මෙරට බලශක්ති ක්ෂේත්‍රය හොර රහසේ ඉන්දියානු සමාගමකට (IOC හෝ Adani) පවරාදීමට කිසිවෙකු හෝ උත්සාහ කරන්නේ නම් ඊටද එරෙහිව ජනතා විරෝධය එකසේ එල්ල විය යුතුය.

චීනයේ ආර්ථික කොල්ලකෑමට තිත තැබුවා සේම, ඉන්දියාවේ කලාපීය බලහත්කාරයටද රටේ සම්පත් පාවා නොදිය යුතුය. ඉදිරියේදී කැඳවන නව යෝජනා (Fresh RFP) කිසිදු කලාපීය බලවතෙකුගේ උගුලකට හසුනොවී, රටට උපරිම වාසි සලසන, පාරිසරික හා නීතිමය කොන්දේසිවලට එකඟ වන ඕනෑම විදේශීය ආයෝජකයෙකුට විවෘත විය යුතුය.

සපුගස්කන්ද නැංවීම: සයිනොපෙක් වැනි විලෝපිකයන්ට හොඳම පිළිතුර

විදේශීය සමාගම් මෙරට සම්පත් සූරාකෑමට පැමිණෙන තෙක් බලා නොසිට, 100%ක් රජය සතු සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීමේ (SOREM) ජාතික වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක කළ යුතුය.

  • පිරිපහදු ලාභය රට තුළ රැඳවීම: සයිනොපෙක් වැනි සමාගම්වලට ලාභය රටින් පිට කිරීමට ඉඩ නොදී, තරගකාරී මිලට බොරතෙල් ආනයනය කර මෙරටදීම පිරිපහදු කිරීමෙන් ලැබෙන සම්පූර්ණ ලාභය (crack spread) රට තුළ ඉතිරි කරගත හැකිය.
  • අතුරු නිෂ්පාදනවලින් ආනයන කප්පාදුව: බිටුමන් (තාර), නැප්තා සහ දැවිතෙල් දේශීයව නිපදවා ගැනීමෙන් වාර්ෂිකව පිටරටට ඇදී යන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නතර කරගත හැකිය.
  • ලාභාංශ මහජන භාණ්ඩාගාරයට: බදු වංචා කරන විදේශ සමාගම් වෙනුවට, ජාතික පිරිපහදුවේ සියලු ආදායම් මහජන සුබසාධනය උදෙසා රජයේ මහා භාණ්ඩාගාරයට බැර වනු ඇත.

ඩොලර් බිලියන ගණනක “ආයෝජන” ලේබලය අලවාගෙන පැමිණියද, රටේ ජාතික සම්පත් විනාශ කර, බදු නොගෙවා, දේශීය ව්‍යාපාර බිඳවට්ටන කිසිදු සමාගමකට මෙරට ඉඩක් නොතිබිය යුතුය. හම්බන්තොට සයිනොපෙක් ගනුදෙනුව අත්හිටුවීම යනු ජාතික ආර්ථිකය සූරාකෑමට පැමිණි විදේශීය කොල්ලකරුවෙකුට එරෙහිව ශ්‍රී ලංකාව තැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකි.

Latest Posts

spot_imgspot_img