කොළඹ ගාලුමුවදොර පිහිටි අතිශය වටිනා භූමිය ෂැන්ග්‍රි-ලා (Shangri-La) සහ One Galle Face ව්‍යාපෘතිය සඳහා විකිණීමේදී සිදුව ඇති මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා වහා විමර්ශනය කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ඊයේ (29) බරපතළ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2026 ඔක්තෝබර් 29 වැනිදා ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මඟින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අක්කර 10කට අධික භූමි භාගයක මහා ගනුදෙනුවක පිටුපස සැඟවුණු අඳුරු තතු රැසක් කරළියට ගෙනැවිත් ඇත.

එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතාගේ අත්සනින් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දෙන්නේ, රාජ්‍ය දේපළ අත්තනෝමතික ලෙස විකිණීමේදී නීතිමය රාමුව මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි.
රුපියල් කෝටි 1,374ක ඉඩම් පැවරුම සහ සමාගම් ගනුදෙනුව
පැමිණිල්ලේ අන්තර්ගත කරුණුවලට අනුව, මෙම ගනුදෙනුව සඳහා පාර්ශ්වකරුවකු වූ ‘ෂැන්ග්‍රි-ලා ගෝල්ෆේස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්’ (PV 75660) සමාගම මොහොමඩ් සජාඩ් මව්සුන් අධ්යක්ෂවරයකු ලෙස දක්වමින් සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත්තේ 2010 නොවැම්බර් 19 වැනිදාය.
ඉන් අනතුරුව අදාළ ඉඩම් කොටස් දෙක සමාගම වෙත පවරා දී ඇත්තේ පහත ආකාරයෙනි:
- පළමු ඉඩම් කොටස: රජයේ ඉඩම් ආඥා පනතේ (454 අධිකාරය) 23(2) වැනි වගන්තිය යටතේ, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් 2010 දෙසැම්බර් 29 වැනිදා ඔප්පු අංක 4/10/33433 මඟින් පිඹුරු අංක 9132හි ලොට් 01ට අයත් හෙක්ටයාර 2.4361ක ඉඩම අමෙරිකානු ඩොලර් මිලියන 75කට (එවකට රුපියල් මිලියන 8,250කට) විකුණා ඇත.
- දෙවන ඉඩම් කොටස: එම පිඹුරේම ලොට් 02ට අයත් හෙක්ටයාර 1.6108ක ඉඩම් කොටස 2011 මාර්තු 15 වැනිදා තවත් රුපියල් මිලියන 5,499කට එම සමාගමටම පවරා තිබේ.
ඒ අනුව, අක්කර 10යි පර්චස් 11ක් වූ මුළු භූමි ප්‍රමාණය රුපියල් මිලියන 13,749කට පුද්ගලික අංශය වෙත පවරා දී අවසන් කර ඇත.
දින තුනෙන් ලියූ ඔප්පුවේ “අකුණු සැර” මැජික් එක
සාමාන්‍ය පුරවැසියෙකුට රජයේ ඉඩම් කැබැල්ලක පිඹුරක් හෝ ඔප්පුවක් ලබා ගැනීමට මාස ගණන්, වසර ගණන් රස්තියාදු වීමට සිදුවන පරිපාලන ව්‍යුහයක් තුළ, රටේ වටිනාම මුහුදු තීරයේ අක්කර ගණනක බිමක් දින 3ක් ඇතුළත ලියා අවසන් කළ අරුමපුදුම කාර්යක්ෂමතාව පැමිණිල්ලෙන් දැඩි ප්‍රශ්න කිරීමට ලක් කර තිබේ:
- 2010 දෙසැම්බර් 27: ඉඩමේ පිඹුර ඇඳීම.
- 2010 දෙසැම්බර් 28: ඉඩම් පැවරීමේ ඔප්පුව ලිවීම.
- 2010 දෙසැම්බර් 29: ඔප්පුව ලියාපදිංචි කිරීම.
පිඹුර ඇඳ, ඔප්පුව ලියා, එය ලියාපදිංචි කර අදාළ සමාගම අතට පත් කිරීමට ගතව ඇත්තේ හරියටම දින තුනක් පමණි. මෙවැනි අසාමාන්‍ය ඉක්මන්වීමක් පිටුපස ක්‍රියාත්මක වූ බලපෑම සහ අදෘශ්‍යමාන හස්තය කුමක්ද යන්න පැමිණිලිකරුවන් මතු කරන ප්‍රධාන සැකයයි.
නීති රීති කුණු කූඩයට දැමූ කරුණු 5ක්
මෙම ගනුදෙනුව විධිමත් පටිපාටියෙන් බැහැරව සිදුවූ අතිශය දූෂිත ක්‍රියාවක් බව පෙන්වා දෙමින් ‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය මූලික කරුණු 5ක් අවධාරණය කරයි:
- ඉඩම් ආඥා පනත උල්ලංඝනය කිරීම: රජයේ ඉඩම් ආඥා පනතේ (454 අධිකාරය) 23(2) වගන්තිය යටතේ පුද්ගලික ආයෝජකයෙකුට රජයේ ඉඩම් පැවරීමේදී අනුගමනය කළ යුතු අනිවාර්ය ක්‍රියාපටිපාටිය නොතකා හැරීම.
- දින 3ක සැකකටයුතු ගනුදෙනුව: සැලසුම් සහගත ලෙස දින තුනක කෙටි කාලයක් තුළ සමස්ත ලිපිලේඛන කටයුතු නිම කිරීම.
- කැබිනට් අනුමැතියක් නැතිකම: මෙම වත්කම පැවරීමට අදාළ විධිමත් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම.
- තක්සේරු වාර්තා පිළිබඳ අවුල: රජයේ නිසි තක්සේරු දෙපාර්තමේන්තු වාර්තාවක් මත පදනම්ව නියම වටිනාකම තීරණය කළේද යන්න සැක සහිත වීම.
- විවෘත ටෙන්ඩර් ක්‍රමයක් නොතිබීම: විවෘත ලංසු කැඳවීමක් හෝ ප්‍රසිද්ධ වෙන්දේසියක් නොපවත්වා, තෝරාගත් එක් පාර්ශ්වයකට පමණක් ඉඩම පැවරීම.
ජනාධිපති බලතල අවභාවිතයක්: ඉඩම් ආපසු පවරාගන්නැයි ඉල්ලීමක්!
රජයේ ඉඩම් ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අවභාවිත කරමින්, ජනාධිපතිවරයාට හිතැති පාර්ශ්වයන් වෙත මෙම වටිනා බිම පවරා දී ඇති බවට පැමිණිල්ල මඟින් සෘජුව චෝදනා කරයි.
නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙය ඉතා දූෂිත ගනුදෙනුවක් බව අවධාරණය කරන එම සංවිධානය, මේ පිළිබඳව පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මෙම අක්රමිකතාව තහවුරු වන්නේ නම් ගනුදෙනුවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, අහිමි වූ මහජන දේපළ වහාම නැවත රජයට පවරා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.



