ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයේ නව පිබිදීමක් සනිටුහන් කරමින්, ඉදිරි වසර හතර ඇතුළත පාපන්දු ක්රීඩාව මෙරට වඩාත්ම ජනප්රිය ක්රීඩාව බවට පත් කිරීමේ දැවැන්ත සංවර්ධන සැලැස්මකට ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) පූර්ණ සහයෝගය හිමිව තිබේ. අසර්බයිජානයේ බකු නුවරදී පැවති විශේෂ සාකච්ඡාවකදී FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ, ශ්රී ලංකා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමර් යන මහත්වරුන් එක්ව මෙම ඓතිහාසික තීරණවලට එළඹ ඇත.

පසුගිය දෙවසර තුළ ශ්රී ලංකා පාපන්දු ක්ෂේත්රය අත්පත් කරගත් සාධනීය ප්රගතිය අගයමින් පැවති මෙම සාකච්ඡාවේ ප්රධානතම අවධානය යොමු වූයේ මෙරට පාපන්දු ක්රීඩාව ලෝක මට්ටමට ඔසවා තැබීමට අවශ්ය යටිතල පහසුකම් හා මූල්ය ශක්තිය සම්පාදනය කිරීම කෙරෙහිය.
ශ්රී ලංකාවට ඩොලර් මිලියන 25ක සුවිශේෂී ආයෝජනයක්
මෙම නව දැක්ම යථාර්ථයක් බවට පත් කරමින්, ඉදිරි සිව්වසරක කාලසීමාව වෙනුවෙන් ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 25ක සුවිශේෂී මූල්ය ආධාරයක් ලබාදීමට FIFA ආයතනය එකඟතාව පළ කර තිබේ. මෙම දැවැන්ත ආයෝජනය යටතේ:
- ජාතික පාපන්දු කණ්ඩායමේ සහ යොවුන් සංචිතවල ප්රමිතිය ඉහළ නැංවීම,
- කාන්තා පාපන්දු ක්රීඩාව රට පුරා ව්යාප්ත කිරීම,
- දේශීය පුහුණුකරුවන් සහ විනිසුරුවන් වෙනුවෙන් උසස් ජාත්යන්තර පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම සිදුවනු ඇත.
සෑම දිස්ත්රික්කයකටම පාපන්දු ක්රීඩාංගණ: ක්රීඩාංගණ 40ක් ඉදිකිරීමේ දැවැන්ත ව්යාපෘතියක්
ක්රීඩාව ගම්බද මට්ටම දක්වා රැගෙන යාමේ අරමුණින්, ලබන වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි පාපන්දු ක්රීඩාංගණ ඉදිකිරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 2031 වසර වන විට FFSL සාමාජික ලීගයන් කේන්ද්ර කරගනිමින් නවීන පාපන්දු ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් රට පුරා ස්ථාපිත කිරීමට නියමිත අතර, එමඟින් මෙරට දක්ෂ යොවුන් ක්රීඩක ක්රීඩිකාවන්ට ජාත්යන්තර මට්ටමේ පහසුකම් සහිතව ක්රීඩා කිරීමට නිරායාසයෙන්ම අවස්ථාව උදා වේ. මීට අමතරව, අංගසම්පූර්ණ ජාත්යන්තර මට්ටමේ ප්රධාන පාපන්දු ක්රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
දක්ෂතා ඔපමට්ටම් කරන ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානය (High-Performance Centre)
ශ්රී ලංකාවේ ක්රීඩක ක්රීඩිකාවන්ගේ කාර්යසාධනය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් ‘ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානයක්’ (National High-Performance Centre) පිහිටුවීමට ද තීරණය කර ඇත. ක්රීඩා අමාත්යාංශය සහ පාපන්දු සම්මේලනය එක්ව ක්රියාත්මක කරන මෙම මධ්යස්ථානය සඳහා අවශ්ය තාක්ෂණික විශේෂඥ සහාය සහ මඟපෙන්වීම FIFA ආයතනය විසින් සෘජුවම ලබාදීමට නියමිතය. මෙය පාපන්දු ක්රීඩාවට පමණක් නොව, මෙරට ක්රීඩා ක්ෂේත්රයේ සමස්ත ප්රමිතිය ඉහළ නැංවීමට මනා පිටුවහලක් වනු ඇත.
ක්රීඩා අනාගතය වෙනුවෙන් ශක්තිමත් ත්රිවිධ හවුල්කාරිත්වයක්
ශ්රී ලංකා රජය, FIFA සංවිධානය සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව ගොඩනඟාගත් මෙම ශක්තිමත් සහයෝගීතාව මෙරට පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමක් බඳුය. ග්රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දක්ෂතා හඳුනාගෙන, ඔවුන්ට අවශ්ය පහසුකම් හා මඟපෙන්වීම ලබාදීම තුළින් ඉදිරි වසර හතර ඇතුළත පාපන්දු ක්රීඩාව ශ්රී ලංකාවේ හදවත දිනාගත් ප්රමුඛතම ක්රීඩාව බවට පත්කිරීමේ ගමන මේ වන විටත් සාර්ථකව ඇරඹී තිබේ.



