Latest Posts

වාණිජ මහාධිකරණයේ ‘කෙටි මං’ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසා දමයි: තාක්ෂණික ගැටවලින් ප්‍රභූන් නඩු විසි කළ යුගය අවසන් කළ ඓතිහාසික නඩු තීන්දුව

විශේෂ ලිපියකි — අතුල සේනානායක
HariDeshaya.lk

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකෝටිපතියන්, සමාගම් ජාල සහ දේශපාලන ප්‍රභූන්ගේ මූල්‍ය ආරවුල් විසඳෙන ප්‍රධානතම තලයක් වන කොළඹ වාණිජ මහාධිකරණයේ අධිකරණ බලය සහ ක්‍රියාපටිපාටිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සුවිශේෂී නීතිමය පූර්වාදර්ශයක් සකස් කර තිබේ.

පූර්ණ සාක්ෂි විභාගයකට ඉඩ නොතබා, පූර්ව නඩු විභාග අවස්ථාවේදීම (Pre-trial stage) “සාක්ෂි නැතැයි” පවසමින් වාණිජ මහාධිකරණය විසින් නඩුවක් නිෂ්ප්‍රභ කිරීමට ගත් තීරණය මුළුමනින්ම බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්ති පාර්ශ්වයට නඩු ගාස්තු නියම කරමින් අදාළ නඩුව කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස නියෝග කළේය.

මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම අභියාචනය විභාගයට ගැනිණි.

කුමක්ද මේ ආරවුල? විත්තිය ගැසූ ‘තාක්ෂණික ගැටය’ කුමක්ද?

මෙම නීතිමය සටන ඇරඹෙන්නේ ‘කිෂ් ඉන්ටර්නැෂනල්’ (Kish International Pvt Ltd) පුද්ගලික සමාගම විසින් වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක් පාදක කරගනිමිනි.

නීතියට අනුව වාණිජ මහාධිකරණයක නඩුවක් විභාග කිරීමට නම් අදාළ ආරවුලේ වටිනාකම රුපියල් මිලියන 20 ඉක්මවිය යුතුය. මෙහිදී විත්ති පාර්ශ්වය මුලින් තර්ක කළේ පැමිණිලිකාර සමාගම වාණිජ මහාධිකරණයේ අධිකරණ බලය (Jurisdiction) ලබාගැනීම වෙනුවෙන් ඉල්ලන මුදල “කෘතිමව ඉහළ නංවා ඇති එකක්” බවයි.

කෙසේ වෙතත්, මෙම නඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය සටහන් වූයේ විත්ති පාර්ශ්වය තමන් අධිකරණයට භාරදුන් මුල් විත්තිවාචකයේ (Answer) සඳහන් නොකළ අලුත්ම කරුණක් පූර්ව නඩු විභාග අවස්ථාවේදී (Pre-trial conference) මතු කරමින් නඩුවේ විෂය පථය වෙනස් කිරීමට උත්සාහ දැරීමත් සමඟය. සාමාන්‍යයෙන් සාක්ෂි මෙහෙයවීමක් සිදුනොවන මෙම පූර්ව සාකච්ඡා අවස්ථාවේදී, “පැමිණිල්ල ඔප්පු කිරීමට සාක්ෂි නැතැයි” පවසමින් 2024 වසරේදී වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිල්ල විසි කර දමන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නීතිමය පහර: සීමාව ඉක්මවා යා නොහැකියි

වාණිජ මහාධිකරණයේ අත්තනෝමතික නියෝගයට එරෙහිව කිෂ් ඉන්ටර්නැෂනල් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරමින් පෙන්වා දුන්නේ, පූර්ව නඩු විභාග අවස්ථාවක් යනු සාක්ෂි විභාග කරන, සාක්ෂි මැන බලන හෝ නඩු තීන්දු ප්‍රකාශයට පත් කරන අවස්ථාවක් නොවන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන අවධාරණය කළේ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා සිය බල සීමාව නීතිවිරෝධී ලෙස ඉක්මවා ගොස් ඇති බවයි. මෙහිදී අධිකරණය විසින් තහවුරු කළ මූලධර්ම ත්‍රිත්වය මෙසේය:

  • Pre-Trial සීමාව ඉක්මවිය නොහැක: පූර්ව නඩු විභාග සාකච්ඡාවක මූලික අරමුණ නඩුවේ ගැටලු හඳුනාගෙන ඒවා සීමා කරගැනීම මිස, මුල් විත්තිවාචකයේ නැති කරුණු ඔබ්බවා නඩුවේ පරාසය පළල් කිරීම නොවේ.
  • සාක්ෂි ඉල්ලීමට විනිසුරුවරයාට බලයක් නැත: නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර, පූර්ව නඩු විභාග අවස්ථාවේදීම සාක්ෂි ඔප්පු කර පෙන්වන ලෙස පැමිණිලිකරුට බල කිරීමට හෝ “සාක්ෂි නෑ” කියා නඩු ඉවත දැමීමට විනිසුරුවරයාට නීතිමය හැකියාවක් නොමැත.
  • අධිකරණ බලය (Jurisdiction) අහෝසි නොවීම: නඩුවක් ගොනුකරන මොහොතේ ඉදිරිපත් කළ කරුණු මත අධිකරණ බලය නිසි ලෙස තහවුරු වී ඇත්නම්, පසුව සම්පූර්ණ නඩු විභාගයකදී ඔප්පු වන මුදල මුලින් ඉල්ලූ මුදලට (රු. මිලියන 20 සීමාවට) වඩා අඩු වුවද, අධිකරණයේ බලධූරය අහෝසි වන්නේ නැත.

ප්‍රභූ දේශපාලන හා ව්‍යාපාරික ජාලයන්ට මෙම තීන්දුව බලපාන්නේ කෙසේද?

මෙය හුදෙක් එක් සමාගමක නඩුවක් පිළිබඳ තීන්දුවකට වඩා ලංකාවේ ව්‍යාපාරික හා දේශපාලන බලවතුන් අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරන තීන්දුවකි.

  1. නඩු මඟහැරීමේ ‘කෙටි මං’ වැසී යාම (විත්තියට එල්ල වූ දැඩි පහරක්)

ලංකාවේ ප්‍රබල දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරික ජාලයන් විත්තිකරුවන් බවට පත්වන මූල්‍ය ආරවුල්වලදී බහුලව භාවිත කරන උපායමාර්ගයක් වන්නේ, ප්‍රවීණ නීතිඥ කණ්ඩායම් යොදවා මෙවැනි Pre-trial අවස්ථාවලදී තාක්ෂණික හිඩැස් මතු කර නඩුව මුලදීම නිෂ්ප්‍රභ කරවා ගැනීමයි (Summary dismissal). මෙම තීන්දුවත් සමඟ සාක්ෂි විභාගයකට මුහුණ නොදී තාක්ෂණික උපක්‍රමවලින් නඩුවෙන් ගැලවී යාමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම ඇහිරී යයි.

විශේෂයෙන්ම ප්‍රභූන්ට අධිකරණයේ සාක්ෂි කූඩුවට නැගීමටත්, රහසිගත ගිවිසුම් හා බැංකු ගනුදෙනු ලේඛන හරස් ප්‍රශ්නවලට ලක්වීමටත් වන අවදානම මින් ඉහළ යයි.

  1. ව්‍යාජ නඩු ප්‍රමාදයන්ට දඬුවම්

මුල් විත්තිවාචකයේ නොතිබූ කරුණු පසුව එකතු කරමින් අධිකරණ කාලය නාස්ති කළ විත්ති පාර්ශ්වයට නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කිරීම හරහා, නඩු ඇදගෙන යාමේ ‘නීතිමය සෙල්ලම්’වලට දැඩි මූල්‍යමය හා අධිකරණමය දඬුවමක් හිමිවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

  1. සාධාරණ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ලැබෙන නෛතික රැකවරණය

ව්‍යාපාරික වංචාවකට හෝ ගිවිසුම් කඩවීමකට ලක්ව නීතිය හමුවට යන ඕනෑම පාර්ශ්වයකට, විත්තියේ තාක්ෂණික ගැටවලට හසු නොවී තම සාක්ෂි විවෘත අධිකරණයේදී ඉදිරිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙම තීන්දුවෙන් තහවුරු කර ඇත. නඩුව අවසානයේ ඔප්පු වන මුදල කුමක් වුවත්, සාක්ෂි මෙහෙයවීමට ඇති ඉඩකඩ රැකදීම ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරයේ විනිවිදභාවයට වැදගත් සාධකයකි.

අධිකරණ කාලය නාස්ති කරමින් වැරදි ලෙස නඩුව ඉවත දැමීමට උත්සාහ කළ විත්ති පාර්ශ්වයට නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ නඩුවේ විභාගය වහාම ආරම්භ කර කඩිනමින් අවසන් කරන ලෙස වාණිජ මහාධිකරණයට නියම කළේය.

පැමිණිලිකාර කිෂ් ඉන්ටර්නැෂනල් සමාගම වෙනුවෙන් නීතිඥ ගාමින්ද කරුණාසේනගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාන් ප්‍රේමතිරත්න සමඟ විකුම් ජයසිංහ සහ මනිත් දසනායක යන නීතිඥවරු පෙනී සිටියහ.

මෙම ඓතිහාසික නඩු තීන්දුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි සංඥාවක් නිකුත් කර තිබේ. එනම්, අධිකරණයේ මූලික කාර්යභාරය විය යුත්තේ තාක්ෂණික කඩතුරාවලට මුවා වී ආරවුල් මඟහැරීම නොව, සාක්ෂි මත පදනම්ව සත්‍යය විභාග කර යුක්තිය පසිඳලීම බවයි.

ප්‍රභූ බලය, මුදල් හයිය හෝ නීතිමය උපක්‍රම යොදාගනිමින් නඩු විභාගයකින් තොරව නඩු නිෂ්ප්‍රභ කරවා ගැනීමේ ක්‍රමවේදයන්ට මෙයින් තිත තබා ඇත. ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජන දිරිගැන්වීමට සහ දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට නම්, වාණිජ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා පූර්ණ සාධාරණත්වයෙන් යුක්ත විය යුතුය. අධිකරණ බලතලවල සීමාවන් නිසි ලෙස පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම නියෝගය, මෙරට සමස්ත වාණිජ නීති පද්ධතියම නිවැරදි දිශානතියකට යොමු කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි.

Latest Posts

spot_imgspot_img