Latest Posts

නොරොච්චෝලෙට ගල් අඟුරු වෙනුවට වැඩිපුර ‘අළු’ රැගත් නැවක්

: විධිමත් විමර්ශනයකින් තොරව ගොඩබෑමෙන් වළකින්නැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයට අනතුරු අඟවයි

ලක්විජය බලාගාරය සඳහා ‘සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු’ මට්ටමේ පවතින බාල ගල් අඟුරු රැගත් නෞකාවක් මේ වන විට ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බවත්, විධිමත් විමර්ශනයකින් තොරව එම තොගය කිසිසේත්ම ගොඩබෑමකට හෝ ඒ සඳහා මුදල් ගෙවීමකට කටයුතු නොකළ යුතු බවත් ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය රජයට සහ අදාළ බලධාරීන්ට දැඩිව අනතුරු අඟවයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, MV JOSCO YONGZHOU නමැති මෙම නෞකාව මගින් රැගෙන විත් ඇත්තේ ගල් අඟුරු වලට වඩා වැඩිපුර ‘අළු’ අඩංගු තොගයක් බවයි.

2026 අප්‍රේල් 28 සහ 29 යන දිනවලදී දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ වරායෙන් (Richards Bay Coal Terminal) ගල් අඟුරු මෙට්‍රික් ටොන් 59,766 ක් මෙම නැවට පටවා ඇත. 2026 අප්‍රේල් 30 දින Bureau Veritas Solutions South Africa (Pvt) Ltd ආයතනය විසින් ලංකා ගල්අඟුරු සමාගමේ බලධාරීන් වෙත යොමු කර ඇති පැටවුම් වරාය වාර්තාවට (Load Port Report) අනුව, මෙම ගල් අඟුරු තොගයේ අළු ප්‍රතිශතය (Ash Content) ඒකක 16.8 ක් ලෙස සටහන්ව තිබේ.

ලංකා ගල්අඟුරු සමාගම විසින් නිකුත් කර ඇති ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටසට අනුව (LCC Reject Values for Coal), අළු ප්‍රතිශතය බර අනුව 16% කට වඩා වැඩි නම් (More than 16% by weight) එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කළ යුතුය. ඒ අනුව, මෙම නැව දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ නෛතික හැකියාවක් ලංකා රජයට නොමැති බව එම සංවිධානය පෙන්වා දෙයි. මීට පෙර ගල් අඟුරු නැව් 18 ක් යම් දඩ මුදලකට යටත් කොට ගොඩබා තිබුණද, පැටවුම් වරායේ වාර්තාව අනුවම ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ප්‍රමිතියෙන් බාල පළමු ගල්අඟුරු නැව මෙය බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

සැපයුම්කරු පිළිබඳ විගණන වාර්තාවේ හෙළිදරව්ව

මෙම බාල ප්‍රමිතියේ ගල් අඟුරු නැව මෙරටට සපයා ඇත්තේ Taranjot Resource (Pvt) Ltd සමාගම විසිනි. ජාතික විගණන කාර්යාලය විසින් 2026 අප්‍රේල් 02 දින සකස් කරන ලද වාර්තාවේ 6.6.3 වගන්තිය උපුටා දක්වන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසන්නේ, ලියාපදිංචියට පෙර සිටම අපේක්ෂිත ප්‍රමිතියට ගල් අඟුරු සැපයීමට අපොහොසත් වී තිබුණු Taranjot සමාගම සමඟ 2026 මාර්තු 30 දින රජය ගිවිසුම්ගත වී ඇති බවයි. මීට පෙර බාල ගල් අඟුරු ගෙනා Trident Champhar Limited සමාගමේ වංචාව හෙළිවීමෙන් පසුව, රජය සිදුකළ හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ටෙන්ඩරය Taranjot සමාගමට ලබා දී ඇති අතර, මේ දක්වා පැමිණි තත්ත්වයෙන් වඩාත්ම බාල නැව මෙය බවද ඔවුහු පවසති.

බිලියන 20ක පාඩුවක්

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් මේ වන විට රජයට රුපියල් බිලියන 20 කට වැඩි පාඩුවක් සිදුවී ඇති බව විවිධ පාර්ශව පෙන්වා දී තිබේ. එමෙන්ම, බාල ගල් අඟුරු සැපයූ සමාගම්වලට ගෙවීම් නොකර රුපියල් කෝටි 960 ක මුදලක් රඳවාගෙන ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබූ බවද අදාළ නිවේදනය මගින් සිහිපත් කර ඇත.

මේ වන විට නොරොච්චෝලට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙම ගල් අඟුරු තොගය ගොඩබෑමට පෙර, ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය සහ තාක්ෂණික කමිටු මගින් විධිමත් ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ යුතු බවත්, ගල් අඟුරු කොමිෂන් සභාව වහා මේ පිළිබඳව විමසිය යුතු බවත් ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ වෙනුවෙන් නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. යම් හෙයකින් මෙය ගොඩබෑවහොත් ඊට ගෙවීම් සිදුකිරීමට රජයේ මුදල් රෙගුලාසි අනුව ගල් අඟුරු සමාගමට හැකියාවක් නොමැති බවද එහි අවධාරණය කර ඇත.

Latest Posts

spot_imgspot_img