Latest Posts

බෙලරුස් ගිය විදේශ ඇමැති විජිත හේරත් වෛද්‍ය සිසුන් හමුවෙයි: REC Campus අනුග්‍රහයෙන් සංස්කෘතික මහෝත්සවයක්!

ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයට සමගාමීව, එහි වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් මින්ස්ක් නුවර Hotel President හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම විශේෂ අවස්ථාව සඳහා බෙලරුස් හි ශ්‍රී ලංකා තානාපතිතුමිය, REC Campus ආයතනයේ සභාපති වෛද්‍ය ලසන්ත අමරකෝන් ඇතුළු REC Campus කණ්ඩායම මෙන්ම බෙලරුස් හි ප්‍රමුඛතම වෛද්‍ය විශ්වවිද්‍යාල වන Grodno State Medical University සහ Gomel State Medical University හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සාර්ථක සංචාරය අමාත්‍යවරයාගේ ඇගයීමට

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, තමන්ගේ මෙම බෙලරුස් සංචාරය ඉතා සාර්ථක වූ බවත්, දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් විශිෂ්ට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට හැකි වූ බවත් අවධාරණය කළේය. එරට ඉගෙනුම් කටයුතු සිදුකරන ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන් වෘත්තීයවේදීන් ලෙස මෙරටට දායක කරගැනීමට රජය සූදානම් බව පැවසූ අමාත්‍යවරයා, සිසුන් සමඟ සුහද කතාබහකද නිරත විය. රටෙන් බැහැරව සිටියද, මව්බිමේ ප්‍රධාන අමාත්‍යවරයෙකු පෞද්ගලිකවම හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම තමන්ට ලැබුණු මහත් ගෞරවයක් සහ සතුටක් බව සිසුහු මෙහිදී ප්‍රකාශ කළහ.

වෛද්‍ය සිසුන්ගෙන් දේශීය අනන්‍යතාව රැගත් සංස්කෘතික අංග

උත්සවය වඩාත් වර්ණවත් කරමින් ග්‍රොඩ්නෝ සහ ගොමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් විසින් අතිවිශිෂ්ට ශ්‍රී ලාංකේය සංස්කෘතික නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, සිසුන් විසින්ම ඉතා වෘත්තීයමය අයුරින් සමස්ත උත්සවයේ නිවේදන කටයුතු මෙහෙයවූ අතර, පැමිණ සිටි විදේශීය ආරාධිතයන් වෙනුවෙන් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කැවිලි පෙවිලිවලින් සංග්‍රහ කිරීමටද ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.

අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාව සහ බෙලරුසියාව අතර මිත්‍රත්වය, අධ්‍යාපනික සහයෝගීතාව සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අමතක නොවන නිල උත්සවයේ ප්‍රධාන අනුග්‍රහය සහ සංවිධාන දායකත්වය REC Campus ආයතනය විසින් සපයනු ලැබීය.

ග්‍රොඩ්නෝ සහ ගොමෙල් වෛද්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවීමට සහ මෙවැනි සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවකට පූර්ණ සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව තමන් සැබවින්ම ආඩම්බර වන බව REC Campus කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Latest Posts

spot_imgspot_img