Latest Posts

ඥානසිරි කොත්තිගොඩගේ “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” ජූලි 07 වැනිදා ජනගත කෙරේ

දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ක්ෂේත්‍රයේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙකු මෙන්ම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විවිධ නිලතල දරමින් මාධ්‍ය අරගලයන්හි පෙරමුණ ගත් ඥානසිරි කොත්තිගොඩ මහතා විසින් රචිත නවතම කෘතිය ජනගත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.

“නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” ලෙස නම් කර ඇති මෙම කෘතිය එළඹෙන ජූලි මස 07 වන අඟහරුවාදා පස්වරු 3.00 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

“අරමුණින් මූලධර්මයට, ඉතිහාසයෙන් අනාගතයට” යන තේමාව පෙරදැරිව රචනා වී ඇති මෙම කෘතිය හුදු ස්වයං චරිතාපදානයකට වඩා එහා ගිය, ලාංකීය වමේ දේශපාලනයේ එක්තරා තීරණාත්මක පරිච්ඡේදයක් පිළිබඳ ස්වයං විවේචනාත්මක කියවීමක් ඉදිරිපත් කරයි. අරගලවලින් පිරි තිස් වසරක දේශපාලන භූමියේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කතුවරයා ලැබූ අත්දැකීම්, භාවිතාවන් මෙන්ම එහිදී ගොඩනගා ගත් සතුරන් හා මිතුරන් පිළිබඳව ද මෙහි විවෘතව සාකච්ඡා කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය මුහුණ දුන් අර්බුද සහ ඛණ්ඩනය වීම් පිළිබඳව දේශපාලනික සහ සමාජීය කියවීමකට මෙමගින් මාවත විවර කෙරේ.

ප්‍රසාද් සේනාධීරගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම කෘතිය ජනගත කිරීමේ සභාව, සමකාලීන දේශපාලන අර්බුද පිළිබඳව පුළුල් කතිකාවතක් නිර්මාණය කෙරෙන වේදිකාවක් බවට පත් කරමින් විද්වත් දේශන කිහිපයක් ද සංවිධානය කර ඇත.

ඒ අනුව, මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් “ජාතික ප්‍රශ්නයට ස්වයං තීරණ අයිතිය ලංකාවට වලංගු නැද්ද?” යන මැයෙන් ද, රණත් කුමාරසිංහ විසින් “වමේ දේශපාලන පක්ෂවල බෙදීම්, බිඳී යෑම් උපන්ගෙයි සන්නියක්ද?” යන මැයෙන් ද, අනූප නන්දුල විසින් “ලංකාවේ කම්කරු පන්තිය දුර්වල වුණේ ආණ්ඩුකරණයට යෑමද? ජාතිවාදයට යටවීමද?” යන මැයෙන් ද අදහස් දැක්වීමට නියමිතය. ඊට අමතරව රෝහිත භාෂණ අබේවර්ධන විසින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ කෘතිය පිළිබඳව සිය අදහස් දැක්වීම සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග සහ වමේ ව්‍යාපාරයේ අනාගතය පිළිබඳව උනන්දුවක් දක්වන සැමට මෙම විවෘත සංවාදයට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.

Latest Posts

spot_imgspot_img