එන්න… ඇවිත් බලන්න නෝනාවරුනි මහත්වරුනි! ටිකට් පත් දවසින් දවස ගණන් ගියත්, එකම තැන කැරකෙන… කවදාවත් ඉස්සරහට නොයන ලෝකයේ එකම සැණකෙළියට ඔබ සැමට සාදරයෙන් ආරාධනා!
මේ ගෙවෙන්නේ ජූනි මාසයේ මැද භාගයයි. මේ දවස්වල අපේ දේශපාලඥයෝ ‘වඩාත් නිවැරදි කවුද’ කියන එක ගැන ජීවිතේ පරදුවට තියලා මරාගන්නවා. මේක හරියට විනිසුරුවරු නැති, නීතිරීති නැති, කවදා ඉවරවෙයිද කියලා දන්නෙත් නැති මහා සංග්‍රාමයක්. දෙපැත්තම තමන්ටම කියාපු ‘චියර්ලීඩර්ස්ලා’ සෙට් එකක් හදාගෙන ඉන්නේ. මොකද… පාන්දර දෙක වෙනකම් ෆේස්බුක් එකේ නොදන්න මිනිස්සුත් එක්ක මරාගන්න එක තරම් “මම ආර්ථික ප්‍රතිපත්ති ගැන ගැඹුරින් හදාරලා තියෙනවා” කියලා ලෝකෙට පෙන්නන්න පුළුවන් වෙන හොඳ ක්‍රමයක් තවත් තියෙනවා යෑ!
අපේ මාධ්‍ය කලාවත් දැන් හරියට සමාන්තර විශ්වයන් දෙකක් වගේ. එක නාලිකාවක ආණ්ඩුව කිරි ඉතිරෙනවා… වැඩ කෝටියයි… නොබෙල් තෑග්ග ගන්නත් ලෑස්ති පිට ඉන්නේ. අනිත් නාලිකාව කියන්නේ ගිය අඟහරුවාදා ආණ්ඩුව කඩන් වැටිලා ඉවරයි… හැබැයි කාටහරි ඒක ආණ්ඩුවට කියන්න අමතක වෙලා කියලා. මේ දෙකම එකම වෙලාවේ, එකම රටක් ගැන ප්රවෘත්ති විකාශය කරනවා. හැබැයි පුදුමේ කියන්නේ, මේ දෙගොල්ලොම තාක්ෂණිකව බොරු කියන්නෙත් නැති එකයි.
ආගමික නායකයොත් දැන් තමන්ගේ පැති තෝරගෙන ඉවරයි. හැම ආගමික ග්රන්ථයකම වගේ “කඳවුරු බෙදීම” තහනම් කරලා තිබුණත්, අපේ උදවිය ඒක අමතක කරලා දේශපාලන කඳවුරු වලට බෙදිලා ඉන්න හැටි දැක්කාම නම් ඇත්තටම මවිත හිතෙනවා.
හැමදාම… ඔරලෝසුවක කටුවක් වගේ හරියටම වෙලාවට, මිනිස්සුන්ගේ අවධානය වෙනතකට හරවන්න අලුත්ම අලුත් මාතෘකාවක් අහසින් කඩාපාත් වෙනවා. මාස කිහිපයකට කලින් ඒක කන්ටේනර් 323ක් වුණා. අහන අහන කෙනාගේ හැටියට ඒ කන්ටේනර් ගාණ ගුණයකින් වැඩි වුණා, නැත්නම් අතුරුදහන් වුණා. ඊට පස්සේ කරළියට ආවේ ගල් අඟුරු. ඒ අතිශ්‍රේෂ්ඨ ගල් අඟුරු ටික කිර කිරා, ලෝක කුසලාන ෆයිනල් එකකටවත් නැති උනන්දුවකින් ඒ ගැන වාද විවාද කළා. දැන්, අවුරුදු හතකට පස්සේ පාස්කු ප්‍රහාරය ආයෙත් පත්තර පිටු අතරට ඇවිත්. දුවිලි පිහදාලා ‘බ්‍රේකින් නිව්ස්’ විදිහට ආයෙත් විකුණනවා… බලන් ගියාම මිනිස්සුන්ගේ දුක වේදනාව මාකට් කරන්නත් අපූරු කාලසටහනක් තියෙනවා වගේ.
මේ ඔක්කොම ඝෝෂාවල් අස්සේ… රැකියා වියුක්තිය, බඩගින්න, දරිද්‍රතාවය සහ මනුෂ්‍ය ගෞරවය වගේ අපේ මූලික ප්‍රශ්න ටික මුල්ලකට වෙලා, කවුරුහරි මේ කෝලාහල අස්සේ තමන් දිහාත් බලයි කියලා හිතාගෙන අත වන වන ඉන්නවා. හැබැයි ඒවට මාධ්‍යවල ඉඩක් නෑ. ඒවා කවදාවත් ‘ට්‍රෙන්ඩින්’ වෙන්නෙත් නෑ.
මේ සැණකෙළියේ තියෙන මැජික් එක මේකයි. යෝධ රෝදය නොනවත්වාම කැරකෙනවා. සමහරු හැමදාම ලොතරැයිය දිනනවා… අවුරුදු මේසෙන් කැවුම් කොකිස් වැටෙනවා වගේ වාසි එයාලගේ ඔඩොක්කුවටම වැටෙනවා. තවත් සමහරුන්ට කලාතුරකින් මොනවාහරි හම්බෙනවා, ඒක එයාලව දිගටම මේ සැණකෙළියට ගෙන්නගන්න ප්‍රමාණවත්. ඒත්… තවත් සමහරු ඉන්නවා, කවදාවත් සතපහක දෙයක් දිනලා නෑ… ඒත් හැමදාම උදේට හරිම සතුටින් ඇවිත් පෝලිමේ හිටගන්නවා. එයාලා මේ සැණකෙළියට ඇතුල්වීමේ ගාස්තුව විදිහට තමන්ගේ බදු මුදල්, තමන්ගේ ඉවසීම සහ තමන්ගේ අන්තිම බලාපොරොත්තුවත් දීලා ඉවරයි.
කාටවත් මේක ඇතුළේ රැඳී ඉන්න කියලා බල කරලා නෑ. ඒත්… හැමෝම දිගටම ටිකට් ගන්නවා.
අවදි වන්න! මේ යන්නේ ඊයේ ගියපු රවුමම තමයි. වෙනස් වෙලා තියෙන්නේ, ඇඳගෙන ඉන්න ඇඳුම් විතරයි.



