ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් එළඹෙන ජූලි මාසයේදී මෙරට ඉන්ධන ආනයන බිල ඇමරිකානු ඩොලර් මිලියන 198 ක් දක්වා තවදුරටත් අඩු කිරීමට සැලසුම් කර ඇති බව සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය පවසා තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සහ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණය බැලූ බැල්මට ආර්ථික විද්‍යාත්මකව සාධනීය පියවරකි. එහෙත්, මෙම තීරණය ප්‍රායෝගිකව පෝළව මත ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි සැබෑ අර්බුද සහ ඊට බලපාන අභ්‍යන්තර ගැටලු පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් සැබැවින්ම අවධානය යොමු කර තිබේද?
විදුලිබල මණ්ඩලයේ හා ඛනිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය
පසුගිය මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 520ක් තරම් විශාල මුදලක් වැය වී තිබුණි. එය ජූනි මාසය වනවිට ඩොලර් මිලියන 318 දක්වා අඩු වූ අතර, ජූලි මාසයේ ඉලක්කය ඩොලර් මිලියන 198 කි. මැයි මාසයේදී ආනයන වියදම මෙතරම් ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ රජයේ සහ ආයතනවල දුර්වල කළමනාකරණයයි.
දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවීම ස්වභාවික තත්ත්වයක් වුවද, නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වා තිබූ ‘බාල ගල් අඟුරු’ හේතුවෙන් එහි විදුලි ජනන කටයුතුවලට බාධා එල්ල වීම මුළුමනින්ම පරිපාලනමය දුර්වලතාවකි. මේ හේතුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඩීසල් මඟින් ක්‍රියාත්මක වන අධික පිරිවැයක් සහිත තාප විදුලි ජනනය මත යැපීමට රජයට සිදුවිය. වසර ගණනාවක් තිස්සේ පුනර්ජනනීය බලශක්ති (සූර්ය හා සුළං) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හිතාමතාම ප්‍රමාද කිරීමේ පාපය ද මෙලෙස ඩොලර් මිලියන ගණනින් ගෙවා දමමින් සිටින්නේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවයි.
ආනයනය සීමා කිරීමට පෙර පරිභෝජනය කළමනාකරණය කළාද?
මෙහි ඇති සැබෑ යථාර්ථය නම්, හුදෙක් ඉන්ධන නැව් ගෙන්වීම නැවැත්වීම හෝ සීමා කිරීමෙන් පමණක් ප්රශ්නය විසඳෙන්නේ නැති බවයි. රට ඇතුළත ඉන්ධන පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම එලෙසම පැවතියදී, ඊට සරිලන සැපයුමක් ලබා නොදී ආනයනය පමණක් කෘත්‍රිමව සීමා කළහොත් කුමක් සිදුවේද?
- කර්මාන්ත කඩා වැටීම: කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SMEs), කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඉන්ධන හිඟයකින් දැඩිව අඩාල වනු ඇත.
- භාණ්ඩ ප්‍රවාහනය අඩාල වීම: සැපයුම් ජාලය (Supply Chain) බිඳ වැටීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළිත් සීඝ්රයෙන් ඉහළ යාමට මෙය හේතු වනු ඇත.
- කළු කඩ නිර්මාණය වීම: යළිත් වරක් ඉන්ධන පෝලිම් යුගයක් සහ වැඩි මිලට තෙල් විකුණන මාෆියාවක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් පවතී.
පොදු ප්‍රවාහනයේ අර්බුදය: සම්පත් හිඟකමද? මොළයේ හිඟකමද?
මිනිසුන්ගේ පුද්ගලික වාහන භාවිතය සීමා කිරීම සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දැඩි නීති පනවන්නේ නම්, ඊට පෙර මගී ජනතාවට ඵලදායී විකල්පයක් ලබා දිය යුතුය. අද වන විට ලංකාවේ පොදු ප්‍රවාහනයේ ඇති ප්‍රධානතම අර්බුදය බස් රථ හෝ කෝච්චි නොමැති වීම නොවේ. පවතින සම්පත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිසි ලෙස කළමනාකරණය නොකිරීමයි.
- කාලසටහන් නොමැතිකම: බස් රථ නිශ්චිත කාලසටහනකට ධාවනය නොවීම සහ GPS තාක්ෂණය යොදාගනිමින් මගීන්ට බස් රථය ඇති ස්ථානය දැනගැනීමේ ක්‍රමවේදයක් තවමත් හඳුන්වා දී නොමැත.
- දුර්වල නියාමනය: දුම්රිය අවලංගු වීම් සහ ප්‍රවාහන ක්ෂේත්රයේ වැඩවර්ජන ජනතාවට එදිනෙදා ජීවිතය එපා කරවා ඇත.
- e-Ticketing වැනි සරල තාක්ෂණික පියවරයන් පවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් අපොහොසත් වී තිබේ.
අවම වශයෙන් මෙම විධිමත් ප්‍රවාහන සූදානම හෝ ඇති නොකර, ජනතාවට වාහන පාරට දැමීම එපා කරවීම ප්‍රායෝගික නොවේ.
නීතිය ඉහළ සිට පහළට මිස, පහළ සිට ඉහළට නොවේ!
අනෙක් වැදගත්ම සහ සංවේදීම කරුණ නම්, මෙම ඉන්ධන සීමා කිරීමේ දැඩි ප්‍රතිපත්තිය රජයේ ඉහළ සිට පහළටම සාධාරණව ක්‍රියාත්මක විය යුතු වීමයි.
ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම දරාගත නොහැකිව දැනටමත් පටි තද කරගෙන සිටින්නේ මේ රටේ සාමාන්‍ය මහජනතාවයි. එහෙත්, දේශපාලඥයන්, අමාත්‍යවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් තවදුරටත් V8, ඩිෆෙන්ඩර් ඇතුළු සුඛෝපභෝගී වාහන පිරිවරාගෙන, මහජන මුදලින් අසීමාන්තිකව නොමිලේ ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් එය කිසිසේත්ම සාධාරණ නොවේ. ආනයනය සීමා කිරීමට පෙර, රජය විසින් අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ ඉන්ධන දීමනාවන් කප්පාදු කර ආදර්ශමත් විය යුතුය.
ඩොලර් ඉතිරි කර ගැනීම රටට අත්‍යවශ්‍ය කරුණක් බව සැබෑවකි. නමුත් ඒ වෙනුවෙන් සියලුම කැපකිරීම් කළ යුත්තේ පීඩිත ජනතාව පමණක්ම නොවේ. ආනයන බිල අඩු කිරීමේ සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් මාධ්‍යයට ලබාදෙන සංඛ්‍යාලේඛන මත නොව, විධිමත් පොදු ප්‍රවාහන කළමනාකරණයක්, පුනර්ජනනීය බලශක්තිය කඩිනම් කිරීම සහ ඉහළ සිට පහළටම එකසේ ක්‍රියාත්මක වන සාධාරණ ඉන්ධන සීමා කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් මත බව බලධාරීන් වහා තේරුම් ගත යුතුව ඇත.



