Latest Posts

ඩොලර් බිලියනයක් ගෙනාවත් ලංකාවේ ආයෝජනය කරන්නේ කොහෙද? – ආයෝජන භීතිකාවෙන් පෙළෙන ලංකාවට මිලින්ද මොරගොඩගෙන් කනේ පහරක්

රටක් ලෙස අප දිනෙන් දින ආර්ථික අගාධයක සිරවෙද්දී, විදේශ ආයෝජන ගෙන ඒම පිළිබඳව වේදිකා මත කොතෙකුත් කතා ඇසුණද, ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව තුළ පවතින්නේ “ආයෝජනවලට බිය වීමේ” පසුගාමී ප්‍රතිපත්තියකි.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩගේ ආන්දෝලනාත්මක ලිපියක් ඇසුරින්, ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය තුළ පිළිකාවක් සේ ඔඩුදුවා ඇති ‘රාජ්‍ය ඒකාධිකාරයේ’ සහ ‘පෞද්ගලීකරණ භීතිකාවේ’ සැබෑ ස්වරූපය ‘හරි දේශය’ අපි මෙලෙස විමර්ශනයට ලක් කරමු.

“ඩොලර් බිලියනයක් ගෙනාවත් ආයෝජනය කරන්නේ කොහෙද?”

මිලින්ද මොරගොඩ සිය ලිපිය ආරම්භ කරන්නේ ඉන්දියාවේ බෙන්ගලූර් නුවරදී සිය මිතුරෙකු ඇසූ තීරණාත්මක ප්‍රශ්නයකිනි.

“ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම විදේශ ආයෝජන ගැන කතා කරනවා. නමුත් යම් අයෙක් ඩොලර් බිලියනයක් අතැතිව ලංකාවට ආවොත්, ඔහුට සාධාරණ ප්‍රතිලාභයක් ලබාගත හැකි අයුරින් එය ආයෝජනය කරන්නේ කොතැනද?”

මෙම ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දැවැන්ත වෙනස තුළය. බෙන්ගලූරු නුවර ගුවන් තොටුපොළ පුද්ගලික අංශය විසින් මෙහෙයවන, ලෝකයේ ඉහළම තරගකාරීත්වයක් ඇති කාර්යක්ෂම ස්ථානයකි. ඉන්දියාවේ දේශීය ගුවන් සේවා වෙළෙඳපොළෙන් 60% ක්ම පාලනය කරන්නේ පුද්ගලික ගුවන් සේවයක් වන ‘ඉන්ඩිගෝ’ (IndiGo) විසිනි. ඉන්දියාවේ නව මහාමාර්ග සහ අධිවේගී දුම්රිය මාර්ග ඉදිවන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙනි (PPP).

කටුනායක සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඛේදවාචකය

එහෙත් අපේ රටේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තවමත් පවතින්නේ රාජ්‍ය පාලනය යටතේ වන අතර එයට දැවැන්ත නවීකරණයක් අවශ්‍යව තිබේ. ගුවන් තොටුපොළ පථයේ නවතා ඇත්තේ, ආහාර සැපයීම් සහ ගුවන් තොටුපොළ මෙහෙයුම් වැනි අංශවල ඒකාධිකාරීන් රකිමින්, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා මැද බිලියන ගණනින් පාඩු ලබන ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයේ පැරණි ගුවන් යානය.

ජාත්‍යන්තර අත්දැකීම්වලට අනුව, ගුවන් තොටුපොළවල් වඩාත් සාර්ථකව නවීකරණය කළ හැක්කේ ගෝලීය ක්‍රියාකරුවන් සමඟ දිගුකාලීන ගිවිසුම් හරහාය. ශ්‍රී ලංකාවද මෙම ක්‍රමය අනුගමනය කළහොත්, ගුවන් සේවා අංශයට පමණක් ඩොලර් බිලියන ගණනක ආයෝජන ආකර්ෂණය කර ගත හැකි අතර, එය සංචාරක, ලොජිස්ටික් සහ දේපළ සංවර්ධන අංශවල දැවැන්ත පිබිදීමක් ඇති කරනු ඇත.

මහාමාර්ග විකුණා හෝ බදු දී ප්‍රාග්ධනය සෙවීම

ඉන්දියාව පුද්ගලික අංශය සමඟ එක්ව අතිවේගයෙන් මහාමාර්ග ඉදිකරද්දී, ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය නොමැතිකම නිසා එම කටයුතු ඇනහිට ඇත. මොරගොඩ මහතා පෙන්වා දෙන්නේ, දැනට ඉදිකර ඇති අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොළ වැනි රාජ්‍ය දේපළ දිගුකාලීන ආයෝජකයන්ට බදු දීමෙන් හෝ විකිණීමෙන් (monetizing existing assets), නව යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා රජයට දැවැන්ත ප්‍රාග්ධනයක් සොයාගත හැකි බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඛනිජ

ලංකාවේ භූමියෙන් 80% ක් පමණ තවමත් රජය සතුය. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අතිශය වටිනා වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇත. නිදහසින් පසු කිසිදු දියුණුවක් නොලද, අදටත් විදුලියෙන් ක්‍රියාත්මක නොවන දුම්රිය සේවය නවීකරණය කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය එම ඉඩම් ආයෝජකයන් සමඟ එක්ව සංවර්ධනය කිරීමෙන් පමණක් වුවද සොයාගත හැකිය.

එසේම මිනිරන්, පොස්පේට්, ඉල්මනයිට් සහ ක්වාර්ට්ස් වැනි ඛනිජ සම්පත් ලොවට විවෘත කර ඩොලර් බිලියන ගණනක ආයෝජන ගෙන ඒමට ඇති හැකියාවද අපේ රට හිතාමතාම මඟහැර ඇත.

පෞද්ගලීකරණයේ සාර්ථකත්වය අපිම දැක නැද්ද?

කොළඹ වරායේ ඉන්දියානු, යුරෝපීය සහ චීන ආයෝජකයන් විසින් මෙහෙයවන පුද්ගලික පර්යන්තවල ඇති කාර්යක්ෂමතාව පුද්ගලික ආයෝජනවල සාර්ථකත්වයට කදිම නිදසුනකි.

එසේම අද පාරිභෝගිකයින්ට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සහ ඉන්ධන පිරවුම්හල් ජාලය තුළ උසස් සේවාවක් ලැබී ඇත්තේ එම ක්ෂේත්‍ර රාජ්‍ය ඒකාධිකාරයෙන් මිදී තරගකාරීත්වයට විවෘත වූ නිසා නොවේද?

මේ නිසා හිල්ටන්, හයිට් (Hyatt) වැනි රජය සතු හෝටල් මෙන්ම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ යල් පැන ගිය විදුලිබල මණ්ඩලය වැනි ආයතනද වහාම ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇත. ලංකා බැංකුව වැනි ආයතන පවා කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කිරීමෙන් ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගත හැකිය.

විශ්‍රාම වැටුප් ක්‍රමයේ යල්පැනගිය බව

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක ක්‍රම සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයට නතු වී ඇති අතර, ඒවායින් කරන්නේ රජයේ ණය පියවීම පමණි. දියුණු රටවල මෙන් මනා ලෙස නියාමනය වූ පුද්ගලික විශ්‍රාම අරමුදල් ක්‍රමයක් ඇති කළහොත්, එම මුදල් යටිතල පහසුකම් සහ ජාතික සංවර්ධනය සඳහා ආයෝජනය කර සේවකයාටද ඉහළ ප්‍රතිලාභයක් ලබා දිය හැකිය.

භීතිකාවෙන් මිදෙමුද? නැත්නම් විනාශ වෙමුද?

විදේශ ආයෝජනයක් පැමිණි විට හෝ රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කිරීමට යන විට අපේ රටේ විශාල පිරිසක් ඊට සැකයෙන් බලති. රජයන්ද ඡන්ද පදනම බිඳවැටේවි යැයි බියෙන් දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටියි.

නමුත් අද ලෝකයේ ප්‍රාග්ධනය සතු ගෝලීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාව පමණක් නොව තවත් රටවල් දුසිම් ගණනක් විවෘතව පවතී. නිලධාරිවාදය සහ තීරණ ගැනීමේ ප්‍රමාදයන් වෙනුවෙන් කාලය නාස්ති කිරීමට ඔවුන් සූදානම් නැත. ශ්‍රී ලංකාව තීරණ ගැනීමට බිය වන්නේ නම්, ආයෝජන වෙනත් රටවලට ගලා යනු ඇත.

අඩු බදු, වඩා හොඳ යටිතල පහසුකම්, ඉහළ වැටුප්, ශක්තිමත් විශ්‍රාම වැටුපක් සහ ස්ථාවර මුදල් ඒකකයක් අපේක්ෂා කරන්නේ නම්, ශ්‍රී ලංකාව දැවැන්ත දේශීය හා විදේශීය ආයෝජන සඳහා කොන්දේසි විරහිතව ඉඩ සැලසිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) යැපීම නතර කළ හැක්කේද එවිටය.

එසේ නොමැති වුවහොත්, එක් ආර්ථික අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටෙමින් රටක් ලෙස අප විනාශ වන අතර, තරුණ පරපුර දිගින් දිගටම රට හැර යාම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වනු ඇත.

මිලින්ද මොරගොඩ මේ හරහා සමස්ත ජාතියෙන්ම ප්‍රශ්න කරන්නේ..,

“ශ්‍රී ලංකාවට ඇත්තටම ආයෝජන සහ ආර්ථික වර්ධනයක් අවශ්‍යද? නැතිනම් ඒ ගැන කතා කරමින් සිටීම පමණක් ප්‍රමාණවත්ද?”

Latest Posts

spot_imgspot_img