ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වන මූලික අයිතිවාසිකම් (FR) නඩු සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටී ඇති බවත්, එය රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමේ භයානක ලක්ෂණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දත්ත සහ සංඛ්‍යාලේඛන ද ඉදිරිපත් කරමිනි.
ඉතිහාසයේ අවම නඩු ප්‍රමාණ මේ වසර තුළ දී
මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි, මීට පෙර වසරවලදී 400 සහ 300 සීමාවන්හි පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු සංඛ්‍යාව, 2025 වසරේ ගතවූ මුල් මාස 5ක කාලය තුළ 25ක් දක්වා අතිශය පහළ මට්ටමකට වැටී ඇත. වසරේ ඉතිරි මාස 7ක කාලය තුළ තවත් නඩු 35ක් පමණ එකතු වුවද, මුළු වසරටම ගොනු විය හැක්කේ නඩු 60ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බවත්, මෙය ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ වාර්තා වූ අවම නඩු ප්‍රමාණය බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙමඟින් පැහැදිලි වන්නේ ජනතාව අධිකරණය සරණ යාම කැපී පෙනෙන ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.
අධිකරණය කෙරෙහි විශ්වාසය බිඳවැටීම සහ නීතිඥ වෘත්තියේ අර්බුදය
මෙම කඩාවැටීමට හේතුව ව්‍යූහාත්මකව විශ්ලේෂණය කරමින් සුජීව සේනසිංහ සඳහන් කළේ, ජනතාව ලක්ෂ කෝටි ගණන් මුදල් සහ කාලය වැය කරමින් යුක්තිය පතා අධිකරණයට පැමිණියද, සලකා බැලීමකින් තොරවම නඩු ප්‍රතික්ෂේප කිරීම (“විසික් කිරීම”) නිසා ජනතාව තුළ පවතින විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇති බවයි.
යුක්තිය ඉටු නොවන මෙවැනි සෝචනීය තත්ත්වයක් හමුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුකරයන් හරහා වෘත්තීය කටයුතුවල නිරත වූ ඇතැම් ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන් පවා සිය වෘත්තීය පුහුණුව (Practice) අතහැර දැමීමේ තත්ත්වයකට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.
තමන්ට මුහුණ දීමට සිදුවූ පෞද්ගලික අත්දැකීමක් ද උදාහරණයකට ගනිමින් ඔහු කියා සිටියේ, එක්තරා නඩුවක් විනාඩි 5ක් වැනි කෙටි කාලයකින් විභාගයකින් තොරවම ඉවත දැමූ බවත්, නමුත් වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති තවත් නඩුවකදී සියලු අයිතිවාසිකම් පිළිගනිමින් එය සාර්ථකව විභාග වෙමින් පවතින බවත්ය.

පොලිස් රාජ්‍යයක ලක්ෂණ සහ ජාත්‍යන්තර නිදසුන්
බලවතුන්ගෙන්, ඉහළ නිලධාරීන්ගෙන් හෝ දේශපාලන අධිකාරියෙන් සාමාන්‍ය දුප්පත් ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ට සිදුවන අසාධාරණකම් සහ පීඩාවන්ට එරෙහිව නැගී සිටිය හැකි අවසන් නවාතැන්පොළ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ජනතාවට එම අවසන් අවස්ථාව ද අහිමි වීම මගින් රට නීතියක් නොමැති පාලනයක් කරා තල්ලු වන බව මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.
“මෙය ඉතාමත් භයානක තත්ත්වයක්. මේක පොලිස් රාජ්‍යයක සලකුණක්. රුසියාවේ මෙහෙමයි, වෙනිසියුලාවේ මෙහෙමයි, නීතියක් නැති අනෙකුත් රටවල තත්ත්වය මෙහෙමයි”
යනුවෙන් පවසමින් සේනසිංහ අවධාරණය කළේ, අධිකරණ පද්ධතිය මෙලෙස පහත වැටීම සම්බන්ධයෙන් අගවිනිසුරුතුමා වහාම පිළිතුරු දිය යුතු බවයි.
විනිසුරු උසස්වීම් සහ දේශපාලන ඇඟිලි ගැසීම්
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ සංගමය (BASL) මීට පෙර සිදුකළ ප්‍රකාශයන් ද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
විනිසුරුවරුන්ගේ උසස්වීම් සහ මාරුවීම් ලබාදීමේදී දේශපාලන වුවමනාවන් හෝ පාලකයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන් මත කටයුතු නොකර, නිසි ජ්‍යෙෂ්ඨත්වය (Seniority) සහ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම අනිවාර්ය බව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේ නොමැති වුවහොත් විනිසුරුවරුන් පාලකයන්ගේ අවශ්‍යතාවලට අනුව හැසිරවීමේ අවදානමක් පවතින බව නීතිඥ සංගමය පවා පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය.



