Saturday, February 14, 2026
spot_img

Latest Posts

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ පාරිසරික ගැටළු අනාවරණය වෙයි

ගම්පොළ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී, අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය ලබාදුන් අවසරය සම්බන්ධයෙන් විශාල ගැටළු අනාවරණය වී තිබේ.

ඉදිරිපත් කළ කරුණු අනුව, ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් මහජන අදහස් ලබා ගැනීම අවහිර කර ඇති අතර, පුවත්පත් දැන්වීම් සහ ගැසට් පත්‍ර පළ කිරීමේ නියමිත ක්‍රියාවලිය අනුගමනය නොකළ බවද අනාවරණය විය.

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ, අම්බුළුවාවේ ඉඩම් කොටස් උඩපලාත, ගඟඉහළ සහ මාවනැල්ල යන කොට්ඨාස තුනට අයත් වුවත්, මාවනැල්ලට අයිති ඉඩම් කොටස් තවමත් ලියාපදිංචි කර නොමැති බවයි. ඉඩම් පවරා ගැනීමේ ක්‍රියාවලියද අසාමාන්‍ය ලෙස සහ හදිසි ආකාරයෙන් සිදුවී ඇති බව ලේඛන පරීක්ෂා විනිශ්චය විය.

ග්‍රාමනිලධාරී ජගත් ගොඩමුන්න මහතා පෙන්වා දුන්නේ, අම්බුළුවාවේ අත්තනෝමතික සංවර්ධනය සිදු වී ඇති ආකාරය, ගම්වාසීන්ගේ පැමිණිලි සහ අවිධිමත් ඉදිකිරීම් ඡායාරූප සහ වීඩියෝ සහිතව සනාථ කළ බවයි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා සඳහන් කළේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ රාශියක් වාර්තා වුවද, පාරිසරික ඇගයීමේ ක්‍රියාවලියට වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ නොවී, මූලික පාරිසරික අධ්‍යයන වාර්තාවක් පමණක් ලබාගෙන, මහජන අදහස් සඳහා විවෘත නොකළ බවයි. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමටද පැමිණිලි කර ඇත.

අමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කළේ, ආයෝජන අත්තනෝමතිකව නවතා නොදමන නමුත් මහජන ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව පිළිබඳ කරුණු සොයා බැලීමෙන් පසු අම්බුළුවාව සම්බන්ධ අවසන් තීරණයක් ගන්නා බවයි.

Latest Posts

spot_imgspot_img