ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ “යුක්තිය” සහ “වෙනස” යනු මැතිවරණ වේදිකාවලට පමණක් සීමා වූ වචන බව කටුනායක ගුවන්තොටුපළෙන් ඇසෙන නවතම පුවත තහවුරු කරයි. ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ (AASL) සභාපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම මහතා ධුරයෙන් ඉවත් කිරීම හුදු “පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීමක්” බව විෂයභාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවද, එය නීතිය අකුරට ඉටුකිරීමට ගිය නිලධාරියෙකු දේශපාලන පූජාසනය මත බිලිදීමක් බව පැහැදිලිය.

නීතියේ ආධිපත්‍යයද? ප්‍රභූ වරප්‍රසාදද?
සිදුවීම් පෙළගැස්ම දෙස බැලීමේදී, මෙම ඉවත් කිරීම සහ පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ඉල්ලා සිටි විශේෂ ආරක්ෂක අවසර පත්‍රය (Security Pass) අතර සෘජු සම්බන්ධයක් ඇති බව ඕනෑම බුද්ධිමත් පුරවැසියෙකුට පෙනී යයි. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) 17 වන උපග්‍රන්ථයට (Annex 17) අනුව, ගුවන්තොටුපළක ආරක්ෂිත කලාපයකට (Security Restricted Area) ඇතුළු වීමට අවසර දිය හැක්කේ රාජකාරී නියුක්ත සේවකයින්ට සහ වලංගු ගුවන් ටිකට් පතක් සහිත මගීන්ට පමණි.
හර්ෂ අබේවික්‍රම මහතා ජනවාරි 09 වන දින ලිඛිතව පෙන්වා දුන්නේ මෙම නීතිමය රාමුව තුළ ‘පිටස්තරයින්ට’ අවසර පත්‍ර නිකුත් කළ නොහැකි බවයි. එය පාලකයින් බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” එකේ සැබෑ භාවිතාව විය යුතුව තිබුණි. එහෙත්, නීතිය රකිනවා වෙනුවට ආණ්ඩුව තෝරාගත්තේ නීතිය කඩ කරන ලෙස ඉල්ලා සිටින ප්‍රබලයන් සතුටු කිරීමයි.

‘ප්‍රතිව්‍යුහගත කිරීම’ නම් මිත්‍යාව
අමාත්‍යවරයා පවසන පරිදි මෙය ජනවාරි මාසයේ සිට සැලසුම් කළ වෙනසක් නම්, සභාපතිවරයා නීතිය අකුරට ක්‍රියාත්මක කළ ලිපිය නිකුත් වී සති දෙකක් ඇතුළත ඔහුව ඉවත් කිරීම අහම්බයක් විය නොහැක. මෙය පැහැදිලිවම “දේශපාලන දඩයමකි”. වත්මන් පාලනය ද පෙර පාලනයන් සේම, තමන්ට අවනත නොවන, නීතියට ගරු කරන නිලධාරීන් පද්ධතියෙන් බැහැර කර, තමන්ට අවශ්‍ය පරිදි අවනීතිය ක්‍රියාත්මක කළ හැකි “අතකොලු” පත් කර ගැනීමට උත්සාහ කරයි.
බලය වෙනුවෙන් නීතිය පාවාදීම
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය භික්ෂූන් වහන්සේලා හෝ ප්‍රභූන් අමනාප කර ගැනීමට ඇති බිය නිසා නීතිගරුකභාවය පාවා දෙන බව මෙමගින් පෙනී යයි. රටේ කිසිදු ගුණාත්මක චලනයක් සිදු වී නැති බවත්, සිදු වී ඇත්තේ “මුහුණු මාරුවක්” පමණක් බවත් දැන් පැහැදිලිය. නීතිගරුක නිලධාරීන් දැන් දැන් රජයේ කටයුතු වලින් ඉවත් වීම ආරම්භ කර ඇති අතර, ඉතිරි වන්නේ බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම අවනීතියකට හිස නමන පිරිසක් පමණි.



