මෙලනි ගුණතිලක
නිදහසට අර්ථකථන බොහෝය. අප අත ලූ විලංගු වල දිග පළලට, සිර මැදිරිවල පොලු අතර ඇති ඉඩ කඩට අනුව අප සිහින මවන නිදහස ගැන චිත්‍රයද වෙනස් වේ. ඇසට නොපෙනෙන, අතට හසු නොවන සමහර විලංගු ලූ අත් සිර මැදිරි උත්කර්ෂයට නගන්නේත් මේ නිසාමය.

මේ වන විට අඛණ්ඩව දින 14ක් පුරා ඉරානයේ පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ අතර ඉස්ලාමීය ජනරජය විසින් සිය ගණනක් ඝාතනය කල බවටත් දහස් ගණන් අත් අඩංගුවට ගත් බවත් කියවෙන්නේ රට පුරා අන්තර්ජාල සේවා අවහිර කිරීම් අතරතුර. 2025 දෙසැම්බර් 28 වෙනිදා ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර් වසා දමමින් ආරම්භ වුන උද්ඝෝෂණ වලට මූලික වෙන්නෙ සම්බාධක හමුවේ තවත් ගැඹුරු වූ ආර්ථික අර්බුදය.
ඉරාන උද්ඝෝෂණ දිහා බලාගෙන ඇමරිකාවට අත වනන බොහෝ දෙනා ඉරානයේ විරෝධතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ විදිහට විතරක් දැක්කට ඉරානයේ කාන්තා විමුක්තිය වෙනුවෙන් වූ සටන ඊට වඩා සෑහෙන්න ඉදිරිගාමී එකක්. ඉරාන මහපොළවේ ගැහැණු, පිරිමි එදිනෙදා අත්දකින යතාර්ථයන් සාමූහික විමුක්තිය හා යුක්තිය වැනි විශ්වීය සංකල්ප හා මුසු කරන්න ඔවුන්ට හැකි වෙලා තියෙන්නේ “පෙරදිගත් නොවේ, බටහිරත් නොවේ, මුළු විශ්වයටම නිදහස” වැනි ඓතිහාසික සටන් පාඨත් එක්ක.
අධික උද්ධමනය, දරිද්‍රතාවය ප්‍රමුඛ කරගත් වර්තමාන උද්ඝෝෂණ වලට අඩිතාලම වැටෙන්නේ 2022 අවුරුද්දේ මාෂා අමිනි නම් තරුණියගේ මරණයට යුක්තිය ඉල්ලූ Women, Life, Freedom දේශපාලන ව්‍යාපාරය හරහා. 2022 උද්ඝෝෂණ වලට පසුව කාන්තා අයිතිවාසිකම් යනු සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ලෙස දකින පිරිස් විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා.
1980 කුර්දි කාන්තා විමුක්ති ව්‍යාපාරයෙන් මතු වූ “ජින්, ජයන්, අසාදි” යන කුර්දි සටන් පාඨය යටතේ පුරුෂාධිපත්‍ය විසින් කාන්තාවන් යටපත් කිරීම වහල්භාවයේ මූලාරම්භය ලෙස සැළකුවා. 2022 වසරේදී පර්සියානු බසින් ප්‍රචලිත වුන එම සටන් පාඨයම නැවත “සාන්, සෙන්දගි, අසාදි” යන හඬින් 2026 වසරේදීත් නැවත දෝංකාර දෙන්නේ “ගැහැණිය, ජීවිතය, නිදහස” සාමූහික විමුක්ති අරගලයේ කේන්ද්‍රය බව හඟවමින්.
කුර්දි ස්ත්‍රීවාදී න්‍යායට අනුව සියලුම පීඩාවන්හි මූලාරම්භයේ ඇත්තේ පුරුෂාධිපත්‍යයයි. ඔවුන් විශ්වාස කරන්නේ සැබෑ ජීවිතය සහ සැබෑ නිදහස ලබාගත හැක්කේ කාන්තා විමුක්තිය තුලින් පමණක් බව. ‘ගැහැණිය” යන අර්ථය දෙන “ජින්” යන කුර්දි වචනයත්, “සාන්” යන පර්සියානු වචනයත් මේ සටන්පාඨ වල ඉදිරියෙන්ම ඇසෙන්නේ ඒ නිසයි.

කාන්තා නිදහස කේන්ද්‍ර කරගත් මේ විරෝධතා ව්‍යාපාරයේ විශේෂත්වය වෙන්නේ රටේ අභ්‍යන්තර රාජ්‍ය මර්දනය ප්‍රතික්ෂේප කරන අතරම ඇමරිකාව ප්‍රමුඛ බටහිර අතපෙවීම් වලටද විරුද්ධ වීමයි. ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ අධිකාරීවාදී ව්‍යුහයන්ට සෘජුවම විරුද්ධ වන ගමන්ම ඔවුන් දේශීය, බිම් මට්ටමේ ජනතා ඉල්ලීම් වලට මූලිකත්වය දෙන්නේ පුරුෂාධිපත්‍යයටත්, ධනවාදයටත් එකවර අභියෝග කරමින්.
නගර 164ක් පුරා නායකත්වයක් නොමැතිව ව්‍යාප්ත වී කම්කරුවන්, සිසුන් සහ සුළු ජාතීන් සම්බන්ධ කර ගැනීමෙන්, මෙම ව්‍යාපාරය සාම්ප්‍රදායික ඉහළ සිට පහළට ගලන ව්‍යුහයන් මෙන් නොව තිරස්ව ගොඩනැගුනේ ඉරාන ඩයස්පෝරාව සමඟ සමීප සම්බන්ධතා වලින් පවා වැලකී සිටීමෙන්. ඔවුන් අභ්‍යන්තර ගතානුගතිකවාදය සහ බටහිර මැදිහත්වීම් යන දෙකම සැබෑ විමුක්තියට බාධක ලෙස දකිනවා.
රාජ්‍ය අධිපතිවාදයත්, බටහිර අධිරාජ්‍යවාදී යටත්විජිතකරණයත් යන දෙකටම විසඳුම ඇත්තේ කාන්තාවන්ට සිය ශරීරය ගැන තීරණ ගැනීමට ඇති නිදහස (bodily autonomy) තුල බව ඔවුන්ගේ විශ්වාසයයි.
Iran #Persia #womenlifefreedom



