ටිකිරිගේ විපක්ෂ කොළම – 04
පසුගිය සතියේ කොළමෙන් අපි වැඩිපුර කථා කළේ යටත් විජිත සමයේ එංගලන්ත තනි විපක්ෂයක් හිරු නොබසින අධිරාජ්‍යයක පාලනයට දායක වෙමින් හා දෙවන ලෝක යුද්ධය තුළින් දක්වන ලද හැකියාව හා කුසලතාවයන්ගෙන් ගත හැකි ආදර්ශය ගැනය. මෙවර අපිට ලංකාවේ වත්මන් විපක්ෂය ගැන ලියන්නට සිදු වේ. ඒ ශ්‍රී ලංකාවේ දැනට උද්ගතව ඇති දේශපාලන මාතෘකා නිසාය. වත්මන් නිල විපක්ෂය වනුයේ සජිත් ප්‍රේමදාස නිළ විපක්ෂ නායක වන සමගි ජන බලවේගයයි.
පසුගිය දිනක ජායාරූපයක් දිටිමි. එම ජායාරූපයේ පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ,අකීල විරාජ් කාරියවසම් සහ සජබයේ නායක සජිත් ප්‍රේමදාසය. බැලු බැල්මට අයිතිහාසික පින්තූරයක් යයි සිතිය හැකිය. එහි 75 % ක්ම පියපුතු පරම්පරා දේශපාලනයේ චරිතය. ලංකාවේ ජනසමාජය හා දේශපාලන බාවිතාව විසින් නුතනය වන විට ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. එහි සිටින අකීල පමණක් ඍජු දේශපාලන පරම්පරාවකට අයිති නොවේ.

එහෙත් අකීලලා නැවත ජනතාවට අවශ්‍යවන්නේ ඇයිදැයි යන්නට තර්කයක් හා කථිකාවතක් ජන සමාජය තුල තිබිය යුතුය. එවැනි මතයක් තර්කයක් තිබීම තුලින් පමණක් ඔවුන් දේශපාලනයට නැවත ඇතුලත් විය හැකිය.එය ගොඩ නැගිය යුත්තේ ඔවුන් විසින්මය. දැනට ඇති එකම තර්කය වනුයේ ඔවුන් රනිල්ගේ කණ්ඩායමේ වීම පමණි. යථාර්තය නම් රනිල් ජනාධිපතිවරණයේදී ලබාගත් චන්ද මිලියන දෙක ආසන්නයට හෝ මහා මැතිවරණයේදි ලබාගෙන ආසන ගණන වැඩි කර ගැනීමට හා විපක්ෂයේ වැඩි ඉඩක් වෙන්කර ගැනීමට අකීල ,නවීන් ,රුවන් යන කණ්ඩායමට නොහැකි වීමය. ඔවුන් ඒ ප්‍රතික්ෂේප වීම වටහාගත යුතුය. එසේම මහළු රනිල්ගේ දේශපාලනය සදාකාලික නොවන විට ඔවුන් රනිල්ගේ කණ්ඩායමේ වීම සදාකාලික නොවේ.
සජබය සමග එකතු වීම,එක්ව චන්ද වලට මුහුණ දීම ජයග්‍රහණයේ එකම මග බවට එක්සත් ජාතික පාක්ෂිකයා සිතයි. එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවී තමන්ට තනිව ජයග්‍රහණය කල හැකි යයි සජබයේ අනුගාමිකයන් සිතති. මෙහිදී සජබය රනිල්ගේ නායකත්වය පිළිගැනීමට මැළි වන අතර එක්සත් ජාතික පාක්ෂිකයා සජිත්ගේ නාකයත්වය පිළිගැනීමට මැළි වෙයි. මා දුටු ජායාරූපය ලංකාවේ වත්මන් විපක්ෂ දේශපාලනයේ ඛේදවාචකය යැයි මට සිතුණි.
මන්දයත් ප්‍රභල විදේශ බලවේග විසින් මෙහෙයවන ආණ්ඩුවක් සමග හැප්පීමට එම පිරිසට ඇති හැකියාව හා සුදුසුකම් මෙන්ම ජනප්‍රසාදය ගැන තක්සේරුවකට ඒමට හැකි බැවිනි. ඔවුන් සියළු දෙනාම මහා ගසක් යට කේදෑරි වී ගිය නියමිත දේශපාලන පෝෂණය,වැඩීම හා ශක්තිය හිමි නොවූ මන්දපෝෂිත ගස් වැනිය. ඒ නිසාම ඔවුන් මත ලංකාවේ ඉදිරි විපක්ෂ දේශපාලනය පැවතීම රටට මාලිමා ආණ්ඩුව දිගින් දිගට බලයේ සිටීම තරම්ම අහිතරකරය.
සජිත් නිළ විපක්ෂ නායකකම දරන්නේ තුන්වෙනි වතාවටය.ජනාධිපතිකම,ආණ්ඩු බලය පෙනී පෙනී 2022 දී ඔහු මගහැර ගියේය. අරගලය මොහොතේ වැඩිපුර සෙනගක් කොළඹට ගෙන්වුයේ සජබයය. සජිත් කාර්යක්ෂම වුයේ නම් ඔහුගේ කණ්ඩායමට බලය ලබාගැනීමේ හැකියාව පැවතුණි. එහෙත් සජිත් තමාගේ විපක්ෂය පෙරළාගෙන පත්වෙන දෙවෙනි ආණ්ඩුවද අප්‍රසාද වී තමන්ට ආණ්ඩු බලය ලැබෙන තුරු බලාසිටි. වඩා වැදගත්ම කරුණ වන්නේ සජිත්ට හා ඔහුගේ සමගි ජනබලවෙගයට එරෙහිව පිට පිටම තුනෙන් දෙකක බහුතර බලයක් ලැබීමය.
2019 ගෝටාභය බහුතර බලයකින් ජනාධිපති වන විට පාර්ලිමේන්තුවේ ඔහුට පක්ෂව 2020 දී තුනෙන් දෙකක බලයක් බිහි විය. එම පාර්ලිමේන්තුව ලංකාවේ නිලවරණයකින් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ද පත් කරගෙන නිළ කාලය භුක්ති විඳින ලදී. ජනාධිපතිවරයා, අගමැති වරයා හා රාජපක්ෂ පවුලේ මැති- ඇමති වරු තනතුරු වලින් ඉල්ලා අස්කොට හෝ එලවා දමාවත් සජිත් ජනතාවගේ පළමු තේරීම නොවූ බව සජිත්ම වටහාගත යුතුය. සජිත්ගේ චන්ද දායකයන් ද මෙය වටහා ගත යුතුය.
2019 ජනාධිපති වරණයේදී තුන් වෙනි ස්ථානයේ පසුවූ අනුර කුමාර 2024 දී සුළුතර ජනාධිපති වනවිට සජිත්ට එරෙහිව තුනෙන් දෙකක බලයක් ඉක්මවා ආණ්ඩුවක් බිහි වී ඇත. දැන් පැමිණ ඇත්තේ සජිත්ට මාලිමා ආණ්ඩුව පෙරළා දැමිය හැකිද යන වැදගත් මාතෘකාව සමාජයේ කතිකාවතට ලක්විය යුතු යුගයයි. ජනමතය නම් නැවත පවුල් පිය පුතු දේශපාලනය එපා යන්නය. සජිත් අයත් වන්නේ ඒ දේශපාලනයට ය. ජනතාවගේ මතය වන්නේ තරුණ නායකයන් පත්විය යුතු බවය. සජිත් 2027 දී 60 වෙනි වියට ඇතුළු වෙයි. එය රටක නායකත්වය භාර ගැනීමට සුදුසු පරිණත වයසක් වුවද සජිත් විපක්ෂනායක ලෙස ආණ්ඩුවක් පෙරලා බලය ලබා ගැනීමට පරිණතද , සමත්ද යන්න නැවත නැවතත් ප්‍රශ්නගත වෙයි.
එසේ ප්‍රශ්නගත වන්නේ පළමුව සජිත්ට රනිල්ගේ පරිණත දේශපාලන බාවිතාවේ වාසිය ලබාගැනීමට නොහැකි වීමය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ උරුමකරුවකු වුවද රනිල්ගෙන් අකීලට, හරීන්ට උරුමවන දක්ෂයාගේ සෙවනැල්ල සජිත්ට හිමිවන්නේ නැත. සජිත් ද අනුර කුමාර මෙන්ම රැකියාවක් කර මුදල් උපයා ධනයක් සාදා ගත් අයෙක් නොවේ. ඔහුගේ විශ්‍රාම වයස වන 60 සම්පුර්ණ වන්නේ පාර්ලිමේන්තුවේ වසර 25 ක කාලයක් සමගය. ඒ කාලය තුල අනුරට වඩා සජිත් සක්‍රිය වූ බවට සාක්ෂි නැත. ඒ නිසා සජිත්ට ක්‍රියාත්මක පරිණත භාවය හෝ නිර්භීත බාවය ආරෝපණය කිරීමට අපහසුය. ඒ නිසාම විපක්ෂය ලෙස මේ මොහොතේ ප්‍රභල ආණ්ඩුවක් පෙරලීමේ හා එසේ පෙරලා බලය ලැබීමේ හැකියාව දැනට සජිත්ට නැති බව මගේ මතයයි.
ආණ්ඩුවේ අධ්‍යපාන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය එක්කෝ විදේශ සංවිධාන හරහා කොටි ඩයස්ෆෝරාව විසින් දිගු කාලීන සැලස්මක් සහිතව බිහි කර ආණ්ඩුවට ලබා දෙන ලද එකකි. නැතහොත් ආණ්ඩුවේ අමනකම නිසා වරදින ලද එකකි. ඉතිහාසය ගැන ලියා ඇති පෙළපොත් සටහන් අනුව පළමු අවස්ථාව ඇත්තක් වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ආණ්ඩුව ආරක්ෂා කර දීමට කොටි ඩය්ස්ෆොරා නියෝජිතයන් “මැද දකුණ ” නමින් එලියට බැස තිබේ. මාධ්‍ය සක්‍රීය කර තිබේ.
අරගලයෙන් පසු එහි කැපී පෙනෙන චරිත රන්ජන් සමග පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් කර විශාල මුදලක් බෙදා හැර තිබේ. ඒ චරිතම ආණ්ඩුව අසීරුව සිටින මොහොතේ නැවත කරලියට පැමිණීම මෙරට විපක්ෂය මෙහෙයවන සැබෑ බලවේග ගැන අදහසක් ගනු ලැබීමට සහය වනු ඇත. එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂයේ අක්‍රිය, මන්දගාමී ඕලාරික බව ම මාලිමා ආණ්ඩුවට වාසියක් වී තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ආගමික ප්‍රජාව නොවන්නට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂයට වගේ වගක් නැත.
විපක්ෂය තම කාර්‍ය භාරය සමාජ මාධ්‍යයට පවරා සමාජ මාධ්‍ය මගින් ආණ්ඩු පෙරලා දෙනතුරු සිටින බවක් පෙනේ.
එනයින් සජිත්ට ආණ්ඩුවට අමතරව ආණ්ඩුවේ සහායක කොටි ඩයස්ෆොරාවේ බළල් අත් සමග හැප්පීමට ශක්තිමත් බවක් ඇත්ද? යන ප්‍රශ්නය ට පිළිතුරු ලැබී ඇත. ඔහුට අප මේ කතා කරන දේශපාලන සන්දර්භය වැටහෙන්නේ නැති බව මගේ අදහසයි. ඔහුගේ කණ්ඩායම එකවර මේ කණ්ඩායම් දෙකම හා ඔවුන්ගේ සංවිධනාත්මක මාධ්‍ය බාවිතාව වටහා ගැනීමට හෝ එයට සංවිධනාත්මකව මුහුණ දීමට අසමත් ය. මාලිමා රජයේ ව්‍යංග රාජ්‍ය පාලනයේ බළල් අත් වල න්‍යාය පත්‍ර අභිබවා යන්නට සජිත්ගේ විපක්ෂයට බ්ලු ෆ්‍රින්ට් එකක් නැත. මෙම ජාලය ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන හා මාධ්‍ය කඳවුර අසරණ කර තිබේ. එම කඳවුරු දෙකම නැවත නැගිටීමක් අපේක්ෂා කරන්නේ නම් සුභසාධන දේශපාලනයෙන් හා මුදල් මත කරන මධ්‍යකරණයෙන් මිදී .මාධ්‍ය ද සජිත් ද අංශක 180 ක් කැරකී ශක්තිමත් විය යුතුය.
මේ මොහොතේ ආපදාව තුළින් අසරණ ව ඇති මිනිස් ජිවිත ගැන විපක්ෂ හඬ කෙඳිරියක් බව දැනේ. ආණ්ඩුව දෙනවා යයි පොරොන්දු වූ සහන ජනතාවට නොදේ. විපක්ෂය ආණ්ඩුව කල යුතු සුබසාධන කරමින් සිටි. ඒ අතර වාහන ගෙන්වීම චණ්ඩිකමින්ම කරගෙන යාමට සුදානම් ය. විපක්ෂය හැටියට සජිත්ලාට මේ කරුණු ගැන හඬක් තිබේද? නැත. මේවා මේ මොහොතේ දක්ෂ විපක්ෂයක් විසින් හුස්ම නොගෙන කතා කල යුතු දේශපාලන කරුණුය.
විපක්ෂයේ කාර්යභාරය හා විරෝධාකල්ප ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කියවෙන හාස්‍යජනක කථාවක් සටහන් කරමි.
” The government announces a policy. Labour says it’s heartless. The next election comes along and Labour says it just needs “better delivery.”
එහි තේරුම ආණ්ඩුව නව ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරයි. ලේබර් පක්ෂය කියන්නේ ඒක හදවතක් නැති (අමානුෂීය ) ප්‍රතිපත්තියක් කියලා.ඊළඟ මැතිවරණය එනකොට, එම ප්‍රතිපත්තිය ගැන ලේබර් පක්ෂයම කියන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ “වඩා හොඳ ලෙස ක්‍රියාත්මක කිරීමක්” විතරයි කියලා. මෙයින් කියවෙන්නේ සක්‍රීය විපක්ෂයක් තම දේශපාලන වාසී වෙනුවෙන් කෙතරම් තියුණු හා ආක්‍රමණකාරී ලෙස කටයුතු කරන්නේද යන්නයි.
මේ ක්‍රමයට අනුර කුමාර සහිත ජවිපය පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සිටියදී ක්‍රියාකළ ආකාරය ඔබට මතකද? අද එය අවමානයට ලක් වුවත් එවැනි ආණ්ඩුවක් පෙරලීමට තපස් රැකීමෙන් නම් නොහැකි බව වටහා ගත යුතුය.
අද කොළම අවසන් කරන්නේ ජර්මනියේ හිටපු චාන්සලර්වරිය ඇන්ජෙලා මෙර්කල් විසින් පාර්ලිමේන්තුවේ දී තම එදිරිවාදී විපක්ෂය වන “හරිත” පක්ෂයට කල ප්‍රකාශයක් සටහන් කරමිනි.
“හරිතයන් නිතරම දුම්රිය මාර්ග තාක්ෂණයෙන් දියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත් ජනතාව වෙනුවෙන් දුම්රිය ස්ථානයක් හදන්න සුදානම් වුණොත් ඔවුන් විරුද්ධයි..මගේ දෙවියනේ මේ මොන විදියේ දේශපාලනයක්ද ? “
මේ ප්‍රකාශය තුල සටහන් වන්නේ ආණ්ඩු කරන හොඳ හෝ නරක කෙරෙහි හිසරදයක් ලෙස විපක්ෂය තියුණු වීම අනෙක් රටවල විප්ක්ෂයන් විසින් සිදු කරනු ලබන බවයි.
ඉතින් අපිට අවශ්‍ය වන්නේ නිහඩව සිටින අක්‍රිය විපක්ෂයක් නොවේ. ආණ්ඩුවට අභියෝගයක් විය හැකි විපක්ෂයකි.
මතු සම්බන්ධයි.

ටිකිරි සුභාෂිණි විෆ්ලර්
නීතිවේදිනි, අන්තර්ග්‍රහණය පිළබඳ කළමනාකාරිණි (ජර්මනිය)
විධායක අධ්‍යක්ෂිකා- ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය(ජර්මනිය)



