Saturday, February 14, 2026
spot_img

Latest Posts

කොළඹ සරසවියේ විභාග වංචා සහ පරිපාලන අන්ධභාවය: උසස් අධ්‍යාපනයේ විශ්වාසනීයත්වය මරණ මංචකයේද?

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැරණිතම රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෙස විරුදාවලිය ලත් කොළඹ විශ්ව විද්‍යාලය, අද වන විට පත්ව ඇත්තේ දැඩි කනගාටුදායක තත්ත්වයකටය. ශාස්ත්‍රීය විශිෂ්ටත්වය වෙනුවට “ප්‍රශ්න මගහැරීම” සහ “දූෂිතයන් ආරක්ෂා කිරීම” යන විෂයන් පිළිබඳව කොළඹ සරසවිය අලුත් උපාධි පාඨමාලාවක් අරඹා ඇති බවට සිසුන් නගන චෝදනාව හුදු උපහාසයක්ම පමණක් නොවේ. එය පද්ධතියේ පවතින කුණුවීම පිළිබඳ කටුක යථාර්ථයයි.

ව්‍යවසායකත්ව පාඨමාලාවක “අධි-ව්‍යවසායක” වංචාවන්

2022/2023 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත් වූ ව්‍යවසායකත්ව සහ කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ (HDESBM) සිසුන් පිරිසක් ඉදිරිපත් කර ඇති පැමිණිලි මගින් හෙළිදරව් වන්නේ කම්පන සහගත තොරතුරු රාශියකි.

  • විභාග ප්‍රශ්න කලින් හෙළි කිරීම: ඇතැම් ආචාර්යවරුන් තමන්ට හිතවත් සිසුන්ට විභාග ප්‍රශ්න කලින් ලබා දීම හරහා විභාග ක්‍රියාවලියේ පාරිශුද්ධත්වය අමු අමුවේ උල්ලංඝනය කර ඇත.
  • අල්ලස් ලබා ගැනීම: ආචාර්යවරියකගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගත් බවට සාක්කි සහිතව පැමිණිලි ලැබී තිබුණත්, පරිපාලනය ඒ පිළිබඳව ඇස් කන් පියාගෙන සිටීම විමතියට කරුණකි.
  • නිවෙස්වලට ගෙන ගිය උත්තර පත්තර: විභාග ශාලාවේදී උත්තර පත්තරය භාර නොදී ගෙදර ගෙන ගිය සිසුවකුට, පසුදින එය භාර දීමට ඉඩ දීම පමණක් නොව, ඔහුට ඉහළම ලකුණු ලබා දීම හරහා විභාග නීති “තඹ සතයකට” මායිම් නොකරන බව ඔප්පු වී ඇත.

පරිපාලනයේ “කල්මැරීමේ” උපායමාර්ගය

පවතින චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා වෙනුවට, කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය අනුගමනය කරමින් සිටින්නේ කාලය විසින් ප්‍රශ්නය යටපත් කිරීමට ඉඩ දීමේ “පහත්” ක්‍රමවේදයකි. 2025 පෙබරවාරි මාසයේදී ලිඛිතව කළ පැමිණිලිවලට වසරකට ආසන්න කාලයක් ගතවන තුරුත් සාධාරණයක් ඉටු නොවීම තුළින් පෙනී යන්නේ, පරිපාලනය දූෂිත ආචාර්යවරුන් සමග එකම “පැකට්ටුවක” සිටින බවට සිසුන් නගන චෝදනාවෙහි සත්‍යතාවයක් පවතින බවයි.

“විනය පරීක්ෂණයක් පවත්වනවා” යන වගන්තියට මුවා වී වසරක් තිස්සේ සාධාරණය ඉටු නොකිරීම, යුක්තිය පසිඳලීමේ මූලධර්මය සිනහවට ලක් කිරීමකි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (UGC) වගකීම කුමක්ද?

විශ්ව විද්‍යාල පද්ධතියේ ඉහළම අධිකාරිය වන UGC විසින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස කොළඹ සරසවියේ උපකුලපතිවරයාට නියම කළද, එයද “සිහි කැඳවීම්” මට්ටමට පමණක් සීමා වී ඇත. කොමිසමේ නියෝග පවා තුට්ටුවකට මායිම් නොකරන කොළඹ සරසවියේ මෙම “අත්තනෝමතික භාවය” හමුවේ UGC නිහඬව සිටීම, සමස්ත රටේම උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳවැටීමට මග පාදන්නකි.

UGC වහාම මැදිහත් විය යුතු කරුණු:

  1. අදාළ ආචාර්යවරුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ඇතුළු විධිමත් මූල්‍ය විමර්ශනයක් ඇරඹීම.
  2. ප්‍රමාද කර ඇති සිසුන්ගේ සහතික පත් ලබා දීමට පියවර ගැනීම.
  3. විභාග වංචාවට හවුල් වූවන්ගේ සේවය අත්හිටුවා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම.

සමාජයීය බලපෑම: බිඳවැටෙන විශ්වාසය

ලක්ෂ ගණනින් මුදල් ගෙවා පාඨමාලා හදාරන සිසුන්ට මෙවැනි අසාධාරණයන්ට මුහුණ දීමට සිදුවීම හරහා ලංකාවේ උපාධිවලට ජාත්‍යන්තරව පවතින පිළිගැනීම අහිමි වේ. විභාග වංචාවෙන් සමත්වන “ව්‍යාජ උගතුන්” බිහි කරන තක්සලාවක් බවට කොළඹ සරසවිය පත්වන්නේ නම්, එය රටේ අනාගතයට එල්ල කරන මරු පහරකි.

වඳුරන්ගෙන් බණ ඇසීම වැනි නිෂ්ඵල ක්‍රියාවක් නොවී, කොළඹ විශ්ව විද්‍යාලය තමන්ගේ අභිමානය රැක ගැනීමට නම්, තමන් තුළ සිටින දූෂිතයන් වහාම හෙළිදරව් කර දඬුවම් පැමිණවිය යුතුය.

Latest Posts

spot_imgspot_img