Latest Posts

ස්තූතියි හඳුන්…

අපි දේශපාලඥයින්ගේ අඩුපාඩු දැක ඒවා විවේචනය කිරීමට කොතරම් ඉක්මන් වුවත්, ඔවුන් තුළ ඇති සැබෑ යහපත් ගතිගුණ සහ සෘජු තීරණ කොන්දේසි විරහිතව අගය කිරීමට ද නිහතමානී විය යුතුය. මෑතකදී කඩුවෙල රංජන් ජයලාල්ට එල්ල වූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් හැසිරුණු ආකාරය ඊට කදිම නිදසුනකි. එම සිදුවීම වරදක් යැයි කියාගැනීමට නොහැකිව නලින්ද ජයතිස්සලා, වසන්ත සමරසිංහලා කැබිනට් මාධ්‍ය හමුවලදී විලිරුදාව හැදුණාක් මෙන් ඇඹරෙමින්, නිරුත්තර වෙමින් සිටිද්දී, සුනිල් හඳුන්නෙත්ති ඊට මුහුණ දුන්නේ වෙනස්ම ආකාරයකටය. ඔහු කිසිදු බියකින් තොරව එය වරදක් බව පිළිගත්තා පමණක් නොව, ජයලාල්ව ඉවත් කළ යුතු බවට ද කෙළින්ම ප්‍රකාශ කළේය. තමන්ගේ පාර්ශ්වයේ වුවද වරදක් දුටු තැන එය වරදක් යැයි කීමට තරම් සෘජු කොන්දක් ඔහුට තිබිණි.

මෙම නිර්භීතකම සහ අවංකකම හඳුන්නෙත්තිට ලැබුණේ අහම්බෙන් නොවේ. එය ඔහුගේ අතීතය සහ ජීවන අත්දැකීම් සමඟ බද්ධ වූවකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) හිටපු කැඳවුම්කරුවෙකු ලෙස එදා ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පාරට බැස්ස ඔහු, දේශපාලනයට පිවිසියේ රිදී හැන්දක් කටේ ගහගෙන නොවේ. ඉතාම දරිද්‍ර, ග්‍රාමීය පවුල් පසුබිමකින් පැමිණි ඔහු අදටත් ඒ බව පිළිගැනීමට කිසිදු අයුරකින් පැකිලෙන්නේ නැත. බොහෝ දේශපාලඥයින් තමන්ගේ දුප්පත් අතීතය සහ පන්තිය වසන් කරමින් කෘත්‍රිම ප්‍රතිරූප හදාගැනීමට උත්සාහ කරද්දී, හඳුන්නෙත්ති තමන් ආ ගමන්මඟ පිළිබඳව ආඩම්බර වන, පොළොවේ පය ගහලා ඉන්නා සැබෑ මිනිසෙකි.

ඔහුගේ ගමනේ විශාලතම ශක්තිය වූයේ නිදහස් අධ්‍යාපනයයි. දැඩි ආර්ථික හා සමාජීය දුෂ්කරතා මධ්‍යයේ වුවද, නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තරම් ඔහු ධෛර්යවන්ත විය. අද ඇතැම් පිරිස් දේශපාලන වේදිකාවල සහ සමාජ මාධ්‍ය තුළ ඔහුගේ භාෂා දැනුම, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවේ උච්චාරණය සහ ව්‍යාකරණ අල්ලාගෙන ඔහුව පොළොවේ ගැසීමට උත්සාහ කරති. එහෙත් සුද්දාගේ භාෂාවෙන් චතුර ලෙස කතා කරමින්, මහ දවල් මහජන මුදල් කොල්ලකෑ සහ බොරු කියූ පිරිසක් සිටි පාර්ලිමේන්තුවක, අමාරුවෙන් හෝ ඉගෙන ගත් භාෂාවෙන් තමන්ගේ අදහස අවංකව ප්‍රකාශ කරන හඳුන්නෙත්තිගේ වටිනාකම ඒ සියල්ලටම වඩා ඉහළින් වැජඹේ. නායකයෙකුගේ වටිනාකම මැනිය යුත්තේ ඔහුට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාවෙන් නොව, ඔහු තුළ ඇති සදාචාර සම්පන්න බවින් සහ අවංකකමෙනි.

වරදක් වූ විට එය භාරගැනීමට සහ ඊට එරෙහිව පෙනී සිටීමට තරම් ඔහු තුළ ඇති විලිලැජ්ජාව සහ අවංකකම වර්තමාන දේශපාලනය තුළ අතිශය විරල දසුනකි. නලින්ද කෙසේ වෙතත්, වසන්තලා වැනි අයට කටක් ඇරලා තව කෙනෙකුට හොරා කියන්නට සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ජනතාව ප්‍රශ්න කරන මොහොතක, හඳුන්නෙත්තිගේ ක්‍රියාකලාපය සමස්ත දේශපාලන සංස්කෘතියටම ආදර්ශයකි.

දැන් ඇත්තේ තීරණාත්මක මොහොතකි. පක්ෂ නායකත්වය සහ හිච්චි මහින්දලා ගත යුත්තේ කුමන පාර්ශ්වයද යන්න මෙහිදී වැදගත් වේ. සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින් වරදට වරදක් යැයි කියූ හඳුන්නෙත්තිගේ පැත්තද? නැතිනම් වරද වසාගැනීමට ඇඹරෙන නලින්දලා සහ වසන්තලාගේ පැත්තද? පක්ෂය ඇතුළේ සැබෑ බලය ඇත්තේ කාටද, සහ ‘නීතිය හැමෝටම සමානයි’ යන උද්‍යෝගිමත් සටන් පාඨය සැබෑවක් බවට පත්වෙනවාද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත. කෙසේ වෙතත්, බාහිර ඔපයට සහ භාෂාවට රැවටුණු සමාජයකට, සුනිල් හඳුන්නෙත්ති වැනි අභ්‍යන්තරයෙන්ම පිරිසිදු, කොන්දක් ඇති නායකයින්ගේ වටිනාකම දැන්වත් තේරුම් ගැනීමට කාලය එළඹ ඇත.

Latest Posts

spot_imgspot_img