විශේෂ වාර්තාව – HariDeshayaLk
රටේ අහිංසක, දුප්පත් පිළිකා රෝගීන් මරණය සමඟ තත්පරයෙන් තත්පරය සටන් වදිද්දී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වායුසමනය කළ කාමරවල සිටින නිලධාරි පැලැන්තියේ අත්තනෝමතික තීන්දු සහ පරිපාලන අකාර්යක්ෂමතාව හේතුවෙන් ප්‍රධාන රෝහල් පහක පිළිකා සත්කාර සේවාව මුළුමනින්ම අඩපණ කර දැමීමේ මහා අපරාධයක් කරළියට පැමිණ තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යටතේ රජයේ ප්‍රධාන රෝහල් පහක් කේන්ද්‍ර කරගනිමින් මිලදී ගැනීමට නියමිතව තිබූ අතිනවීන CT Simulator යන්ත්‍ර පහක් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, අමාත්‍යාංශයේ කිලිටි පරිපාලනමය ඇදසිලි සහ සැඟවුණු න්යායපත්ර හේතුවෙන් මේ වන විට දින නියමයක් නොමැතිව හමස්පෙට්ටියට දමා ඇති බව අනාවරණය වේ.
කෝටි ගණන් මහජන මුදල් කා දැමූ “සැරසිලි” බවට පත් වූ ලීනියර් යන්ත්‍ර!
අනුරාධපුරය, බදුල්ල, කුරුණෑගල, රත්නපුර සහ හම්බන්තොට යන රෝහල්වලට මෙම CT Simulator යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබුණේ නිකම්ම නොවේ. එම රෝහල් පහේම දැනටමත් රුපියල් කෝටි බිලියන ගණනක මහජන ධනය වැය කර අතිනවීන ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ස්ථාපිත කර අවසන්ය.
නමුත් තිත්ත ඇත්ත නම්, මෙම මිල අධික විකිරණ යන්ත්‍ර මේ මොහොතේත් රෝහල් කාමර තුළ නිකරුණේ “කෞතුක භාණ්ඩ” බවට පත්ව තිබීමයි! පිළිකා සෛල පවතින නිශ්චිත ස්ථානය මිලිමීටරයට හඳුනාගන්නා ත්‍රිමාණ සිතියම්කරණය (3D Planning) සිදුකිරීම සඳහා CT Simulator යන්ත්‍රයක් අත්‍යවශ්‍ය සාධකයකි. එය නොමැතිව ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයකින් රෝගියෙකුට විකිරණ ප්‍රතිකාර ලබාදීම යනු දෑස් බැඳගෙන ඉලක්කයට වෙඩි තැබීමක් බඳු භයානක කටයුත්තකි.
එසේ තිබියදී, විකිරණ යන්ත්‍ර ගෙනැවිත් දමා ඊට අදාළ මූලික CT Simulator ටෙන්ඩරය හිරකර තැබීම පිටුපස ඇත්තේ සාමාන්‍ය ප්‍රමාදයක්ද, නැතහොත් කොමිස් කුට්ටි හෝ ටෙන්ඩර් මාෆියාවක සෙවණැලිද යන්න බලධාරීන් රටට හෙළි කළ යුතුය.
දුරබැහැර අසරණ රෝගීන් කොළඹට තල්ලු කිරීමේ කුමන්ත්‍රණය කාගේද?
උතුරු මැද, ඌව, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් පහේ පිළිකා රෝගීන්ට තම ප්‍රදේශයේදීම නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීම පිටුපස ඇත්තේ බරපතළ සමාජ අසාධාරණයකි.
- දිනපතා ගමන් වියදම් දරාගත නොහැකිව අනුරාධපුරයේ සහ බදුල්ලේ අසරණ ගොවි පවුල්වල රෝගීන් මහරගම අපේක්ෂා රෝහලේ බිම් දිගේ පෝලිම් ගැසෙන්නේ කාගේ වරදින්ද?
- අවශ්‍ය වෙලාවට විකිරණ ප්‍රතිකාර ටික ලබාගැනීමට නොහැකිව පිළිකාව ශරීරය පුරා පැතිර ගොස් දිනෙන් දින මියැදෙන මිනිස් ජීවිතවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිගොනු පස්සට තල්ලු කරන නිලධාරීන් භාරගන්නේද?
“රෝගී ජීවිත මරණයට තල්ලු කරන බාධක වහා ඉවත් කරනු!” – වෛද්‍ය සංගම් අනතුරු අඟවයි
මෙම නින්දිත පරිපාලන අර්බුදය හමුවේ බලධාරීන් අත පිසදාගෙන සිටියද, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.
ADB අරමුදල් පවා ලබාදී තිබියදී, මෙවැනි අත්‍යවශ්‍ය උපකරණ ගෙන්වීම දින නියමයක් නොමැතිව කල් දැමීම යනු පිළිකා රෝගීන් ඝාතනය කිරීම හා සමාන ක්‍රියාවක් බව පෙන්වා දෙන ඒ මහතා, වහාම මෙම අසාධාරණ පරිපාලන කඹඇදීම් අවසන් කර ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ කරන ලෙස අමාත්‍යාංශයට බලකර සිටී.
මහජන මුදලින් වැටුප් ලබමින්, ජාත්‍යන්තර ණය ආධාරවලින් පවා උපරිම ඵල ලබාගැනීමට නොහැකි අකාර්යක්ෂම නිලධාරී තන්ත්රය වෙනුවෙන් තවදුරටත් රෝගී ජීවිත බිලිදිය යුතු නැත. සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ඉහළ බලධාරීන් වහාම මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, මෙම ටෙන්ඩරය හිරකරගෙන සිටින්නේ කවුරුන්දැයි රටට හෙළිදරව් කළ යුතුය!



