Latest Posts

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියන්නේ දේශපාලකයන්ගේ බූදලයක් නොවේ; නීතියට පයින් ගහලා නිලධාරීන් මර්දනය කරන්න කාටවත් බෑ!

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

පාර්ලිමේන්තුවේ පරිපාලන ස්වාධීනත්වය සහ නිලධාරි තන්ත්‍රය අඩපණ කරමින්, දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් මත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය නොවැම්බර් 06 වනදා අභියාචනාධිකරණය හමුවේ නිර්දය ලෙස හෙළිදරව් කෙරිණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනුකර ඇති CA (Writ) 109/2026 දරන රිට් පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වගඋත්තරකාර කථානායකවරයා ඇතුළු පාර්ශ්වයන්ගේ මූලික විරෝධතාවලට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක තර්ක මාලාවක් අධිකරණය හමුවේ තැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

මහ ලේකම්වරිය මුහුණ දුන් අකරතැබ්බය: ව්‍යවස්ථාපිත බලතල හෑල්ලු කළ ‘ලිපිකරු’ උගුල

මෙම සමස්ත නඩු විභාගයේදී වඩාත්ම අවධානයට ලක්වූ හා ආන්දෝලනාත්මක කරුණක් වූයේ පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සහ එහි බලතල හෑල්ලු කරමින් විධායක හෝ දේශපාලන පාර්ශ්වයන් සිදුකළ නීතිවිරෝධී මැදිහත්වීම්ය.

පාර්ලිමේන්තු පරිපාලනයේ ඉහළම විධායක නිලධාරියා වන මහ ලේකම්වරියගේ තනතුර සහ බලතල අභියෝගයට ලක්කරමින්, බ්‍රිතාන්‍ය යුගයේ පැරණි නාමකරණයක් වූ “ලිපිකරු” (Clerk to Parliament) යන වචනයට මුවාවී ඇයගේ පරිපාලන නායකත්වය සහ බලතල හෑල්ලු කිරීමට ප්‍රතිවාදී පාර්ශ්වය දැරූ උත්සාහය ජනාධිපති නීතිඥවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65 වැනි ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සෘජුවම ආරක්ෂා කර ඇති ව්‍යවස්ථාපිත තනතුරක් බවත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නීත්‍යනුකූලව පවතින්නේ මහ ලේකම්වරයා යටතේ බවත් සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) පවා “මහ ලේකම්” හෝ “ලිපිකරු” යනු පරිපාලන ප්‍රධානියාගේ තනතුරු නාම බව පිළිගෙන තිබියදී, මහ ලේකම්වරියගේ ස්වාධීනත්වයට සහ පරිපාලන තීන්දු ගැනීමේ අයිතියට පිටතින් අතපොවමින් ඇයව පීඩනයට පත්කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව අධිකරණය හමුවේ තහවුරු කෙරිණි.

කුමක්ද මේ සිදුවීම? — නියෝජ්‍ය මහ ලේකම් දඩයමේ පසුබිම

මහ ලේකම් ධුරයේ බලතල හෑල්ලු කිරීමට සමගාමීව, පාර්ලිමේන්තු පරිපාලනයේ දෙවැනියා වූ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා ඉලක්ක කරගත් මෙහෙයුම ක්‍රියාත්මක විය.

  • පසුබිම: පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු කිහිපයක් අළලා චමින්ද කුලරත්න මහතාට එරෙහිව කඩිමුඩියේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහි වාර්තාවක් පදනම් කරගනිමින් කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව හරහා ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනිණි.
  • පෙත්සම්කරුගේ ස්ථාවරය: තමන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණය ස්වාභාවික යුක්තියේ මූලධර්ම සහ නිසි නීතිමය ක්‍රියාපටිපාටිය සහමුලින්ම උල්ලංඝනය කළ ඒකපාර්ශ්වික පළිගැනීමක් බව පෙන්වා දෙන කුලරත්න මහතා, අදාළ පරීක්ෂණ වාර්තාව හා වැඩ තහනම් කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස (Quash) ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනුකළේය.
  • වරප්‍රසාද පලිහ: කථානායකවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් කියා සිටියේ, මෙම පරිපාලන තීරණය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතට වැටෙන බැවින් ඊට එරෙහිව අධිකරණමය විභාගයක් පැවැත්වීමට බලයක් නොමැති බවයි.

කාර්ය මණ්ඩලය දේශපාලකයන්ගේ රූකඩයක් නොවේ: නීතියේ ආධිපත්‍යය පෙරට

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යනු දේශපාලනඥයන්ට හෝ කථානායක පුටුවේ හිඳින පුද්ගලයන්ට අවශ්‍ය පරිදි නැටවිය හැකි රූකඩ සේවාවක් නොවන බවත්, එය විශේෂිත වූ “පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත” යටතේ ස්ථාපිත කර ඇති ස්වාධීන ආයතනයක් බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දැඩිව අවධාරණය කළේය.

කාර්ය මණ්ඩලයේ විනය හා සේවා කටයුතු පාලනය විය යුත්තේ පටු දේශපාලන උවමනාවන් මත නොව, රටේ පිළිගත් නීතිමය රාමුව මත පමණක් බව පෙන්වා දුන් ඒ මහතා, රාජ්‍ය බලය දරන්නන් එම බලතල ක්‍රියාත්මක කරන්නේ “මහජන භාරයක්” (Public Trust) ලෙස බැවින්, සීමාවන් ඉක්මවා යමින් රාජ්‍ය නිලධාරීන්ගේ බෙල්ල මිරිකීමට කිසිදු පාර්ශ්වයකට බලයක් නැති බව පෙන්වා දුන්නේය.

‘වරප්‍රසාද පලිහ’ සුනුවිසුනුයි: උපදේශක කාරක සභාවට මුක්තියක් නෑ!

තමන් ගත් තීරණය අධිකරණ පරීක්ෂාවෙන් බේරාගැනීමට වගඋත්තරකාර පාර්ශ්වය භාවිත කළ “පාර්ලිමේන්තු වරප්‍රසාද හා මුක්තිය” පිළිබඳ තර්කයේ ඇති හිස්බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නීතිමය ලියකියවිලි සහිතව හෙළිදරව් කළේය.

ඔහු පෙන්වා දුන්නේ අදාළ තීරණය ගත් බව කියන කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග (Standing Orders) යටතේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු කාරක සභාවක් නොවන බවයි. එය හුදෙක් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා පත්කර ඇති, තීරණ අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අනුමැතියට පවා යටත් වන සාමාන්‍ය පරිපාලනමය කමිටුවක් පමණි.

ඒ අනුව, පාර්ලිමේන්තු කාරක සභාවකට හිමිවන කිසිදු විශේෂ වරප්‍රසාදයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගවලින් මිදීමේ නෛතික මුක්තියක් මෙම කමිටුවට අදාළ නොවන බවත්, ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරමින් ගත් එම අත්තනෝමතික තීරණ අධිකරණ පරීක්ෂාවට (Judicial Review) යටත් කිරීමට පූර්ණ බලය අධිකරණය සතු බවත් ඔහු තර්ක කළේය.

දැවැන්ත නීතිඥ බලඇණියක් අධිකරණයට — තීරණාත්මක සටන 17 සහ 18

මෙම නඩු විභාගයේදී දෙපාර්ශ්වය වෙනුවෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරුන් රැසක් පෙනී සිටියහ:

  • පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා වෙනුවෙන්: ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා
  • දෙවන වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන්: ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා
  • තුන්වන සහ පස්වන වගඋත්තරකරුවන් වෙනුවෙන්: ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා
  • දහතුන්වන වගඋත්තරකරු වෙනුවෙන්: ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා
  • අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන්: ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා සහ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය සහ සහකාර මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇතුළු අනෙකුත් වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම සඳහා නඩුව නොවැම්බර් 17 සහ 18 යන දිනවලට යළි කැඳවීමට නියම කෙරිණි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියගේ ව්‍යවස්ථාපිත බලතල හකුලා දැමීමට දැරූ උත්සාහයත්, නියෝජ්‍ය මහ ලේකම්වරයා දඩයම් කරමින් ගෙනගිය පරිපාලනමය මැරවරකමත් එකම දේශපාලන උවමනාවක දිගුවක් බව දැන් පැහැදිලිය. වරප්‍රසාද පිටුපස සැඟවී රාජ්‍ය නිලධාරීන්ගේ බෙල්ල මිරිකීමට පාලකයන්ට කිසිදු බලපත්‍රයක් නොමැති බවට අධිකරණය හමුවේ තැබූ මෙම නීතිමය ප්‍රහාරය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් එල්ල වූ තීරණාත්මක බලපෑමක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

Latest Posts

spot_imgspot_img