Latest Posts

ශීතලෙන් බේරෙන්න බාබකියු උදුන් කාමර ඇතුළට ගෙන නිදාගන්න එපා – නුවරඑළියෙන් සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්

නුවරඑළිය ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බාබකියු (BBQ) උදුන් භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවත්, ආහාර පිසීමෙන් අනතුරුව එම උදුන් නිවා නොදමා වසා ඇති කාමර තුළ තබාගෙන නිදාගැනීම ජීවිතක්ෂයට පත්විය හැකි බරපතළ අවදානමක් බවත් නුවරඑළිය ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා අනතුරු අඟවයි.

නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන්ගෙන සිටි අඹුසැමි යුවළක් බාබකියු උදුනකින් පිටවූ කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආශ්වාස වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කෙරෙන සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි නැව් කපිතාන්වරයකු සහ ඔහුගේ 46 හැවිරිදි බිරිඳයි. ඔවුන් මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් තාවකාලිකව අසල නිවසක් කුලියට ගෙන නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.

නුවරඑළියේ පැවති අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා රාත්‍රී කාලයේදී බාබකියු උදුනක් කාමරය තුළ දල්වාගෙන නිදාගැනීම මෙම මරණවලට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් වැඩබලන මහේස්ත්‍රාත් විජය වික්‍රම මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

කාබන් මොනොක්සයිඩ් වායුවේ ඇති භයානකත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කිත්සිරි හේරත් මහතා පෙන්වා දෙන්නේ, මෙය කිසිදු වර්ණයක් හෝ ගන්ධයක් නොමැති අතිශය විෂ සහිත වායුවක් බවයි. අඟුරු හෝ වෙනත් ඉන්ධන අසම්පූර්ණ ලෙස දහනය වීමේදී මෙම වායුව නිකුත් වන අතර, කිසිදු ගන්ධයක් හෝ වර්ණයක් නොමැති වීම නිසා තමන් විෂ වායුවක් ආශ්වාස කරන්නේ දැයි හඳුනාගැනීමට එහි සිටින පුද්ගලයන්ට හැකියාවක් නොලැබේ.

මෙම වායුව ශරීරගත වීමෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය අඩාල වී හෘදයට මෙන්ම මොළයට ලැබෙන ඔක්සිජන් සැපයුම අවහිර වේ. මෙහි මුල් ලක්ෂණ ලෙස හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය, ඇඟපත දුර්වලතාව සහ අධික නිදිමත ගතිය ඇතිවිය හැකි අතර, තත්ත්වය බරපතළ වීමෙන් සිහිසුන්වීම, හෘදයාබාධ සහ ක්ෂණික මරණය පවා සිදුවිය හැකිය. විශේෂයෙන්ම රාත්‍රියේ නින්දේ පසුවන විට මෙම අවදානම හඳුනාගැනීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

නුවරඑළිය ප්‍රදේශයෙන් මීට පෙරද මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බැවින්, මෙය හුදකලා සිදුවීමක් ලෙස නොසලකා සියලු දෙනා සැලකිලිමත් විය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස සැළකිය යුතු බව ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරයා අවධාරණය කළේය.

එබැවින් බාබකියු උදුන් භාවිත කිරීමේදී සංචාරකයන් මෙන්ම හෝටල් සහ නවාතැන්පළ හිමියන්ද පහත කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය:

  • බාබකියු හෝ අඟුරු උදුන් කිසිදු විටෙක නිවාස, නිදන කාමර හෝ වාතාශ්‍රය අවහිර වූ සංවෘත ස්ථාන තුළ භාවිත නොකළ යුතු අතර, ඒවා හොඳින් වාතාශ්‍රය ලැබෙන විවෘත එළිමහන් ස්ථානවල පමණක් භාවිත කළ යුතුය.
  • ආහාර පිසීම අවසන් වූ වහාම උදුන සම්පූර්ණයෙන්ම නිවා දමා ආරක්ෂිත ස්ථානයක තැබිය යුතුය.
  • අධික ශීතල මඟහරවා කාමරය උණුසුම් කරගැනීමේ අරමුණින් මෙවැනි උදුන් කාමර තුළට රැගෙන යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
  • සංචාරක නිකේතන, කුලී නිවාස සහ හෝටල් හිමියන් තම ආයතනවල නවාතැන් ගන්නා අමුත්තන් මෙවැනි අනතුරු පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය.
  • යම් හෙයකින් කාබන් මොනොක්සයිඩ් වායුව කාන්දු වූ බවට හෝ ශරීරගත වූ බවට සැකයක් ඇති වුවහොත්, වහාම එම ස්ථානයෙන් එළිමහනට පැමිණ කඩිනමින් වෛද්‍ය සහාය ලබාගත යුතුය.

නුවරඑළියේ සංචාරය කරන අතරතුර ලබන විනෝදය සහ තාවකාලික උණුසුම වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිත අනතුරේ හෙළා නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ සංචාරක ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Latest Posts

spot_imgspot_img