Latest Posts

චිත්‍රපට සංස්ථාවේ පරිපාලන ‘බහිරවයා’ නම මාරු කරමින් කළ කූට මෙහෙයුම එළියට: තොරතුරු දැනගැනීමේ කොමිසමත් නොමඟ යවලා! අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

රාජ්‍ය ආයතන තුළ සිදුවන වංචා, දූෂණ සහ බලය අයුතු ලෙස යෙදවීම් ගැන අලුත් කතා දිනපතා අසන්නට ලැබුණ ද, තමන්ගේ සැබෑ අනන්‍යතාවය සහ නම පවා වසන් කරමින් රාජකාරි ලියකියවිලි සකස් කරන ‘අවතාර නිලධාරීන්’ ගැන වාර්තා වන්නේ කලාතුරකිනි. එවන් අතිශය විහිළු සහගත මෙන්ම බරපතළ දූෂිත නාටකයක් මේ වන විට කරළියට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙනි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) පවා බල්ලට දමමින්, නීතිමය බලයක් සහිත කොමිෂන් සභාවක් හමුවේ ව්‍යාජ අනන්‍යතාවයකින් පෙනී සිටිමින් ලේඛන නිකුත් කළ බව කියන චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකුගේ සහ ඊට නිහඬව අනුබල දෙන පාලනාධිකාරියේ රෙදි ගැලවෙන තොරතුරු රැසක් මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ.

‘නාමල්ද? තමාල්ද?’: පරිපාලන නිලධාරියාගේ ද්විත්ව රංගනය

ලබාගෙන ඇති නිල ලේඛනවලට අනුව, සිද්ධියට අදාළ නිලධාරියා චිත්‍රපට සංස්ථාවේ පාලන හා මානව සම්පත් අංශයේ පරිපාලන නිලධාරීවරයා මෙන්ම තොරතුරු නිලධාරියා ද වේ. මොහුගේ නීත්‍යානුකූල සැබෑ නාමය “ගොඩවෙල ගමගේ දොන් තමාල් නේත්‍රාංජන වීරබාහු” (G. G. D. T. N. වීරබාහු) වේ.

නමුත්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ නීතිඥ මණ්ඩලය හමුවේදී තොරතුරු පනත යටතේ නිකුත් කළ සංස්ථාවේ අතිශය තීරණාත්මක අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ලේඛනයක් (2023.03.10 දිනැති අංක 1212 දරන මණ්ඩල තීරණය) “සත්‍ය පිටපතක්” (True Copy) බවට තහවුරු කර සිය නිල මුද්‍රාව තබා අත්සන් කර ඇත්තේ “නාමල් වීරබාහු” යන නමිනි!

එහෙත්, ඉන් අනතුරුව තොරතුරු අයදුම්කරු වෙත නිල වශයෙන් ලිපි යොමු කිරීමේදී මොහු සිය මුද්‍රාව සහ අත්සන යොදා ඇත්තේ “ජී. ජී. ඩී. ටී. එන්. වීරබාහු” යනුවෙනි.

තමන්ගේ නමේ මුලකුරුවල ඇති ‘තමාල්’ (T) යන්න වෙනුවට ‘නාමල්’ (N) ලෙස පෙනී සිටිමින්, රටේ සංස්ථාපිත නීතිඥ මණ්ඩලයක් සහ අධිකරණමය බලතල සහිත කොමිසමක් හමුවේ ලියවිලි සහතික කිරීමට තරම් මේ නිලධාරියාට ලැබුණු හයිය කුමක්ද?

කූට ලේඛන සැකසීමේ යටි අරමුණ කුමක්ද?

මෙය හුදු මුද්‍රණ දෝෂයක් හෝ අතපසුවීමක් නොවන බව පැහැදිලිය. රාජ්‍ය සේවයට ඇතුළත් වීමේදී අත්සන් කරනු ලබන ‘පත්වීම් කොන්දේසි’ මෙන්ම ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII (48) පරිච්ඡේදයේ විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමින් ව්‍යාජ නමක් භාවිත කිරීම පිටුපස ඇත්තේ දැවැන්ත කූට චේතනාවකි:

  1. තොරතුරු ලේඛනය හිතාමතා බලරහිත කිරීම: නීත්‍යානුකූල අනන්‍යතාවක් නොමැති ‘ව්‍යාජ නමකින්’ සත්‍ය පිටපතක් සහතික කළ විට, අනාගතයේදී කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයකදී එම ලේඛනය අධිකරණය හමුවේ “ශුන්‍ය සහ බලරහිත” (Null and Void) ලියවිල්ලක් බවට පත්කිරීමේ පහසු අවස්ථාව උදාකර ගැනීම.
  2. සාපරාධී වංචාව: රාජ්‍ය ලේඛනයක් ව්‍යාජ අනන්‍යතාවයකින් තහවුරු කිරීම සහ නීත්‍යානුකූල නොවන නමකින් රාජ්‍ය සේවයේ පෙනී සිටිමින් වරප්‍රසාද සහ වැටුප් භුක්ති විඳීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ සාපරාධී වරදකි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ‘තලෛවා’ (Thalaivaa) ගනුදෙනුව වසන් කිරීමේ උත්සාහයක්ද?

මෙම ව්‍යාජ අත්සන ගසා ලබාදී ඇති අදාළ ලේඛනය කුමක්දැයි සොයා බැලීමේදී මෙහි යටිබිම්ගත කතාව තවත් බරපතළ වේ. එම ලේඛනය වූකලී, “THALAIVAA” චිත්‍රපටය ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් එවකට වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් හා ගබඩා) එච්.සී.ජේ. රූපසිංහ මහතාට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයයි.

එම විනය පරීක්ෂණයේදී අදාළ නිලධාරියා චෝදනා 13න් 05කටම වරදකරු වී තිබියදීත්, භාණ්ඩාගාර නියෝජිතයා ඊට දැඩි ලෙස විරෝධය පළ කරද්දීත්, ඔහුව සියලු චෝදනාවලින් නිදහස් කර වැටුප් වර්ධක සහ වරප්‍රසාද ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ! එවන් බරපතළ අක්‍රමිකතාවක් සහිත ලේඛනයක් එළියට දීමේදී මෙලෙස හොර නමකින් අත්සන් තැබුවේ කාගේ වුවමනාවටද?

සභාපති සුදත් මහදිවුල්වැව නිහඬ ඇයි?

මෙම බරපතළ අනන්‍යතා අර්බුදය සහ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් 2026 මැයි 20 වන දින ලිඛිතව සංස්ථාවෙන් කරුණු විමසා ඇතත්, මාස ගණනාවක් ගතවන තුරුත් කිසිදු පියවරක් ගෙන නොමැත.

දූෂණය නැවැත්වීමට පැමිණි බව කියන වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව ඇතුළු ඉහළ පාලනාධිකාරිය, ආයතනය තුළ මෙවන් විෂමාචාරයක් සිදුවන බව දැන දැනත් නිහඬව සිටීම හරහා තහවුරු වන්නේ ඔවුන් ද මෙම දූෂිත ක්‍රියාවලියට වක්‍රව හෝ සෘජුව දායකත්වය දක්වන බව නොවේදැයි ප්‍රශ්න කෙරේ.

අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි!

සුපිළිපන් රාජ්‍ය පාලනයක් පිළිබඳ පුරසාරම් දොඩන යුගයක, රාජ්‍ය සංස්ථාවක පරිපාලන නිලධාරියෙකු නම් දෙකකින් පෙනී සිටිමින් සිදුකරන මෙම කූට ලේඛන වංචාව සම්බන්ධයෙන් ‘ඇඩ් හවුස්’ (Ad House) ආයතනයේ අජිත් පී. ධර්මසූරිය මහතා විසින් 2026 නොවැම්බර් 03 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් ගොනු කර ඇත.

එහි පිටපත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමු කර තිබේ.

තොරතුරු කොමිසම රවටමින්, ආයතන සංග්‍රහය සහ රටේ අපරාධ නීතිය කෙලෙසමින් ‘නාමල් – තමාල්’ නාටකය රඟදක්වන මෙම නිලධාරියා වහාම සේවයෙන් පහකර නීතිය හමුවට පමුණුවනවාද, නැතහොත් සුපුරුදු පරිදි ලිපිගොනු යටගසා දූෂිතයන් සුරකිනවාද යන්න බලධාරීන් රටට හෙළි කළ යුතුය.

Latest Posts

spot_imgspot_img