Latest Posts

සිරසට කෝටි 10.4ක අල්ලසක් සහ විජිතගේ අගමැති සිහිනය: බදු මුදලින් ලියැවුණු යටිකූට්ටු ඩීල් එකේ ඇතුළාන්තය

ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වූ රටක, මහජනතාව තමන් උපයන සොච්චම් මුදලිනුත් අසාධාරණ බදු ගෙවමින් සුසුම් හෙළන මොහොතක, පාලකයන් එම බදු මුදල් පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර සහ මාධ්‍ය මුදලාලිලාගේ සාක්කු තර කිරීම වෙනුවෙන් කාබාසිනියා කරන නින්දිත ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු මේ වන විට කරළියට පැමිණ තිබේ.

මේ අනාවරණය වන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) ජාත්‍යන්තර ප්‍රචාරණ අරමුදල් කපා හරිමින්, MTV මාධ්‍ය ජාලය (සිරස) වෙනුවෙන් රුපියල් කෝටි 10.4කට අධික (රු. 104,603,876) මුදලක් වෙන් කර දීමේ යටිකූට්ටු ගනුදෙනුව සහ ඒ පිටුපස ඇති ආණ්ඩු අභ්‍යන්තරයේ බල අරගලයේ නිරුවතයි.

රූපවාහිනිය ප්‍රතික්ෂේප කළ සමුළුව සිරස කරට ගත්තේ ඇයි?

පසුගිය වසරේදී ආසියානු විකාශන සංගමයේ (ABU) වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා වන යෝජනාව මුලින්ම ඉදිරිපත් කෙරුණේ ජාතික රූපවාහිනිය වෙතය. එවක එහි සභාපතිවරයා කෙළින්ම ප්‍රකාශ කර සිටියේ මෙවැනි දැවැන්ත වියදමක් දැරීමට රාජ්‍ය නාලිකාව සතුව ප්‍රතිපාදන නොමැති බවයි.

රාජ්‍ය රූපවාහිනිය මුදල් නොමැති බව පවසා අත්හැර දැමූ එම ව්‍යාපෘතිය සිරස කිසිදු පැකිලීමකින් තොරව කරට ගත්තේ නිකම්ම නොවේ. ආණ්ඩුවෙන් තමන්ට අවශ්‍ය පරිදි මහජන මුදල් ගලවා ගැනීමේ දේශපාලන ‘ඩීල්’ එකක් සූදානම් කරගත හැකි බව ඔවුන් හොඳාකාරවම දැන සිටි බැවිනි. රාජ්‍ය මාධ්‍ය ආයතනයකට සත පහක් වෙන් නොකළ සංචාරක අමාත්‍ය විජිත හේරත්, පුද්ගලික මාධ්‍ය ජාලයකට මෙතරම් මහජන මුදල් කන්දරාවක් එකවර පවරාදීමට හදිසි වූයේ මන්දැයි මේ වන විට ප්‍රශ්න කළ යුතුව තිබේ.

ජාත්‍යන්තර අරමුදල කපා සිරසට දුන් අමාත්‍ය මණ්ඩල ‘මැජික්’ එක

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවලින් හෙළිවන පරිදි, ලෝකය පුරා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබූ “Promotion of Destination through Channels Coinciding with International Activities through TV Advertising (International)” නම් රුපියල් මිලියන 350ක ජාත්‍යන්තර ප්‍රචාරණ අරමුදලෙන් රුපියල් 104,603,876ක් එකවර කපාගෙන ඇත.

එසේ කපාගත් මුදල, දේශීය මාධ්‍ය වැඩසටහන් අයවැයට (Local Media budget 2026 – Local Media FAMS/Media Gatherings) හරවා, සාමාන්‍ය ප්‍රසම්පාදන විධිවිධාන පසෙකලා සෘජුවම MTV ආයතනය වෙනුවෙන් වෙන් කරවාගෙන තිබේ.

එපමණක් නොව, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 26/1947/807/035 යටතේ 2026 සැප්තැම්බර් 17 දිනැතිව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින්:

  • මුළු මුදලින් 60%ක් වන රුපියල් 62,762,326ක මුදලක් සැප්තැම්බර් 30 වන දිනට පෙර අත්තිකාරම් ලෙස ගෙවීමටත්,
  • ඉතිරි 40% වන රුපියල් 41,841,550ක මුදල නොවැම්බර් 17ට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමටත් අවශ්‍ය අනුමැතිය සකස් කර ඇත.

මහජන බදු මුදලින් කරන සුඛෝපභෝගී වියදම් ලැයිස්තුව

රටේ ආර්ථිකය නඟාසිටුවන්නට යැයි කියමින් ජනතාවගේ ආහාර වේලටත් බදු ගසන පසුබිමක, මෙම සමුළුව වෙනුවෙන් සිරස ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව මෙසේය:

  • හෝටල් සහ ආහාර පාන: කොළඹ Cinnamon Life City of Dreams සුපිරි හෝටලයේ රැස්වීම් ශාලා සහ ආහාර පාන සඳහා පමණක් රුපියල් 46,542,180කි.
  • තෑගි පාර්සල්: ආරාධිතයන්ට පිළිගන්වන ‘Welcome Pack’ (බෑග්, පෑන්, සිහිවටන) සඳහා පමණක් රුපියල් ලක්ෂ 40කි.
  • නිෂ්පාදන වියදම්: මහරජා සමාගමටම අයත් Stein Studios ඇතුළු නිෂ්පාදන, ශබ්ද සහ ආලෝකකරණ වියදම් වෙනුවෙන් රුපියල් 24,658,254කි.
  • සංගීත රාත්‍රිය: කොක්ටේල් සහ රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලකි.
  • එක්දින විනෝද චාරිකාව: ගාල්ල සහ බෙන්තොට චාරිකාවේ ජල ක්‍රීඩා (Water sports) සඳහා රුපියල් ලක්ෂ 35ක්, Cinnamon Bentota දිවා ආහාරයට රුපියල් ලක්ෂ 70ක් සහ ගාලු කොටුව නැරඹීමට රුපියල් ලක්ෂ 14ක් ඇතුළුව විනෝද චාරිකාවට පමණක් රුපියල් 12,618,000කි.
  • බදු බරත් ජනතාව පිට: මේ සියල්ලටම අමතරව රජයට අයවිය යුතු SSCL සහ VAT බදු වෙනුවෙන් ගණනය කර ඇති රුපියල් 18,270,890ක මුදලද ගෙවනු ලබන්නේ මහජන මුදලිනි.

මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම

මෙම ගනුදෙනුව විෂයභාර අමාත්‍යවරයාගේ තනි තීරණයක් ලෙස පමණක් බැහැර කළ නොහැක. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම 2026 සැප්තැම්බර් 28 දිනැතිව මෙම කැබිනට් සංදේශය සඳහා සිය නිල නිරීක්ෂණ නිකුත් කරමින්, යෝජිත ගෙවීම් සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී අත්සන් තබා තිබේ.

දූෂණය පිටුදැකීමේ සහ මහජන මුදල් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් පෙරදැරි කරගෙන බලයට පත් වූ පාලනයක් යටතේ, මෙවැනි අසීමිත වියදම් දැරීම සහ පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් රාජ්‍ය අරමුදල් හරවා යැවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමේ හැකියාවක් නැත.

අල්ලස් කොමිසමේ සහ වගකිවයුත්තන්ගේ නිහඬතාව

යහපාලනය සහ දූෂණ විරෝධය වේදිකාවල සටන් පාඨවලට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ඔප්පු විය යුතුය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු ආයතන, පැමිණිල්ලක් ලැබෙන තුරු බලා නොසිට මහජන ධනය මෙලෙස අවභාවිත වීම පිළිබඳව කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

රටේ පොදු ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල්, ජාතික ප්‍රමුඛතා පසෙකලා පෞද්ගලික මාධ්‍ය ජාල නඩත්තුවට සහ දේශපාලන කේවල්කිරීම් සඳහා වැය කිරීමට ඉඩ දිය නොහැක.

(මූලාශ්‍රය: Kaiwaru.net)

Latest Posts

spot_imgspot_img