බාල බෙහෙත් නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂියට විනිසුරු විරාජ් වීරසූරියගෙන් සහ විත්තියෙන් ප්‍රබල අභියෝගයක්
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම තුළින් රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂි ගොනු කිරීමේ ප්‍රබල දුර්වලතා රැසක් විත්තියේ නීතිඥවරුන් සහ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු විසින් නිරාවරණය කරනු ලැබීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන මෙම නඩුවේදී, කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔප්පු කිරීම සඳහා පදනම් වන ප්‍රධානතම සාක්ෂිය වූ “ජර්මානු රසායනාගාර වාර්තාව” අධිකරණයට ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හටගත්තේය.
මෙම ඖෂධ තොගය සැබෑ ඖෂධයක්ද නැතහොත් වෙනත් ද්‍රාවණයක්ද යන්න තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත රසායනාගාර නොමැති වීම හේතුවෙන් විමර්ශන නිලධාරීන් විසින් අදාළ සාම්පල ජර්මනියේ රසායනාගාරයක් වෙත යොමු කර තිබිණි.
කෙසේ වෙතත්, නඩු විභාගයේදී අදාළ රසායනාගාර පරීක්ෂකවරයා අධිකරණයට කැඳවීම වෙනුවට, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් එම පර්යේෂණ වාර්තාව “දිවුරුම් ප්‍රකාශයක්” ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළාය. පරීක්ෂකවරයා ගෙන්වා ගැනීමට යන අධික වියදම සහ ජර්මනියේ තානාපති කාර්යාලයක් හරහා මාර්ගගතව සාක්ෂි දීමට එරට නීතියෙන් ඇති බාධාවන් පැමිණිල්ල විසින් ඊට හේතු ලෙස දැක්වූ අතර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 414 (3) වගන්තිය යටතේ මෙය ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
පැමිණිල්ලේ මෙම පියවරට විත්තියේ නීතිඥවරුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මෙම සාක්ෂියට අභියෝග කරමින් මෙසේ සිය තර්කය ගොඩනැගීය.
නීතිඥ හරේන්ද්‍ර භාණගල:
"මේක ලංකාවේ අපරාධ නඩුවකදී අපි දැකපු පළවෙනි දිවුරුම් ප්‍රකාශ සාක්ෂිය. මේක ඉතාම වැරදි ප්‍රවණතාවක්. නරක පූර්වාදර්ශයක්. ලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද මේක විශ්වාස කරන්නේ? මොකක්ද අපිට විශ්වාස කරන්න තියෙන සහතිකය? අපි කොහොමද මේ පුද්ගලයාගෙන් හරස් ප්‍රශ්න අහන්නේ? මොහුට මේ වගේ භාරදූර කාර්යයක් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න තියන සුදුසුකම් මොනවද කියලා අපි කොහොමද ප්‍රශ්න කරන්නේ?"
ඊට සමගාමීව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ද පැමිණිල්ලේ නෛතික පදනම බිඳ හෙළමින් දැඩි විරෝධයක් මතු කළේය.
නීතිඥ අසේල සේරසිංහ:
"අපේ නීතියේ ප්‍රතිපාදන අනුව 414 (3) වගන්තිය ප්‍රකාරව විශේෂඥ වෛද්‍යවරයෙකුට පමණක් පුළුවන් පුද්ගලයා හැටියට තමන් ඉදිරිපත් නොවී ලේඛනයක් මගින් සාක්ෂි ලබාදීමට. හැබැයි මේ කියන කෙනා රසායනාගාරයේ විශේෂඥයෙක් නෙවෙයි. මෙයා ෆාමසිස්ට් කෙනෙක්. ඖෂධවේදියෙක්. එහෙම කෙනෙක් සාක්ෂියට මේ විදියට ගන්න එක නීති විරෝධීයි."
නයන්ත විජේසුන්දර, අමිත ආරියරත්න, ප්‍රියන්ත නවාන, රහුල් ජයතිලක සහ චමින්ද අතුකෝරාල ඇතුළු සෙසු විත්තියේ නීතිඥවරුන් ද මෙම දිවුරුම් ප්‍රකාශය පිළිගැනීමට දැඩිව විරුද්ධ වෙමින්, උපකල්පන මත පදනම්ව කඩදාසියක් සාක්ෂියක් ලෙස විශ්වාස කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.
මෙම තීරණාත්මක සාක්ෂිය භාරගැනීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදී ගියේය. සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර විසින් ප්‍රායෝගික දුෂ්කරතා සහ යුක්තිය පසිඳලීමේ අවශ්‍යතාව සලකා බලා, ජර්මානු භාෂාවෙන් ලියවුණු කොටස හැර සෙසු කොටස යම් සීමාවන්ට යටත්ව සාක්ෂියක් ලෙස භාරගැනීමට තීරණය කළහ.
එහෙත් ඊට ඉඳුරාම වෙනස් මතයක් දරමින්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය පැමිණිල්ලේ සාක්ෂියට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. පැමිණිල්ල ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය අඩුපාඩු රැසකින් සමන්විත බව ඔහු සිය තීන්දුවෙන් සවිස්තරාත්මකව පෙන්වා දුන්නේය.
විනිසුරු විරාජ් වීරසූරිය:
"ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් වන මෙම වාර්තාව මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂියක් ලෙස පෙනෙන්නට තිබෙනවා. එසේ තිබියදී සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට ලක් නොකර සිටීම මගින් විත්තිකරුවන්ට යම් අසාධාරණයක් විය හැකි බව අධිකරණය නිරීක්ෂණය කරනවා."
ජර්මානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු නඩු විභාගයට එක් කර තිබුණද, ඔවුන්ගේ සාක්ෂි මෙහෙයවීමට අදාළව භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය බවට පැමිණිල්ල කිසිදු ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරයා නිරීක්ෂණය කළේය. ඒ අනුව සාක්ෂි ලබාදීම කුමන භාෂාවකින් සිදු කරන්නේද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නොමැති බවත්, එම සාක්ෂිකරුවන් කැඳවීමට අදාළව රහස්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට කිසිදු නියෝගයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
දිවුරුම් ප්‍රකාශයේ නෛතික භාවය දැඩි ලෙස ප්‍රශ්න කළ විනිසුරුවරයා, අදාළ සාක්ෂිකාරියගේ රාජකාරිමය විෂය පථය එහි තුන්වන ඡේදයේ දක්වා තිබුණද, ලේඛනයට අත්සන් කර ඇත්තේ වෙනත් තැනැත්තියක් විසින් බව අනාවරණය කළේය. තවද, ඉදිරිපත් කර ඇති ලේඛනවල අත් අකුරෙන් යොදා ඇති සටහන් ඇති බවත්, ඒවා කවර අවස්ථාවක, කුමන හේතුවක් මත ඇතුළත් කළේද යන්න පැමිණිල්ල නිශ්චිතව පැහැදිලි කර නොමැති බවද විනිසුරුවරයා අවධාරණය කළේය.
ජර්මනියේ සිට අදාළ සාක්ෂිය මෙහෙයවීමට ගත් උත්සාහය ජර්මානු රජය විසින් ප්‍රතික්ෂේප කළ බවක් අධිකරණයට වාර්තා කර නොමැති බව පෙන්වා දුන් විනිසුරු විරාජ් වීරසූරිය, අදාළ දිවුරුම් ප්‍රකාශයේ ඇති දෝෂ අවස්ථානුගතව සලකා බැලිය යුතු බව පැවසීය. ඒ අනුව, මෙම මතභේදාත්මක දිවුරුම් ප්‍රකාශය සහ එහි ඇමුණුම් සාක්ෂියක් ලෙස ලකුණු කිරීමට කළ ඉල්ලීමට අවසර නොදිය යුතු බව සිය විනිශ්චය ප්‍රකාශ කරමින් ඔහු තීරණය කළේය.
බහුතර තීන්දුව මත මෙම සාක්ෂිය අධිකරණය භාරගත්තද, විත්තියේ නීතිඥවරුන් සහ විනිසුරු විරාජ් වීරසූරිය විසින් නිරාවරණය කරන ලද මෙම බරපතළ කරුණු හරහා පැමිණිල්ලේ විමර්ශන ක්‍රියාවලියේ පවතින විධිමත්භාවය සහ සාක්ෂිවල විශ්වසනීයත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
Source: slleader.lk



