Latest Posts

IMF මඟුල 2027න් ඉවරයි: ඊළඟට රටට හුළංද? – මැදපෙරදිග ගිනි ජාලාව මැද ආණ්ඩුවේ ‘ප්ලෑන් B’ එක කෝ? රවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි!

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

2022 අප්‍රේල් 12 වැනිදා ‘අපි බංකොලොත්’ යැයි මුළු ලොවටම ප්‍රකාශ කර දණින් වැටුණු ශ්‍රී ලංකාව, තවමත් හුස්ම ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඔක්සිජන් නළයෙනි. එහෙත් මේ ඔක්සිජන් නළය ගැලවෙන නිශ්චිත දිනයක් තිබේ; ඒ 2027 මාර්තු මාසයයි. සිව්වසරක විස්තීර්ණ ණය පහසුකම (EFF) අවසන් වීමට තවත් ඇත්තේ කෙටි කාලයක් පමණි. ප්‍රශ්නය වන්නේ ඉන් ඔබ්බට රට ගෙනියන්නේ කෙසේද යන්නයි.

IMF ගිවිසුමෙන් පසු ක්‍රියාත්මක වන ‘පසු විපරම් එකඟතාවක්’ (Successor Arrangement) ගැන ආණ්ඩුවට කිසිදු නිශ්චිත සැලැස්මක් තිබේද? නැතහොත් දේශපාලන වේදිකාවල කයිවාරු ගසන ‘විකල්ප ආර්ථික මාවත්’ සැබෑ ලෝකයේ ක්‍රියාත්මක කළ හැකිද?

මැදපෙරදිග යුද ගිනි දැල් ඇවිළෙමින්, ලෝක වෙළෙඳපොළේ තෙල් සහ බලශක්ති මිල ගණන් පුපුරා යන පසුබිමක, ආණ්ඩුවේ අදූරදර්ශී නිහඬතාව ප්‍රශ්න කරමින් හිටපු මුදල් අමාත්‍ය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ රෙදි ගැලවෙන ප්‍රහාරයක් එල්ල කළේය.

2027 කන්ද පාමුල ආණ්ඩුව අතරමංද?

IMF යනු සදාකාලික ගැලවුම්කරුවෙකු නොවේ. එහෙත් බංකොලොත් රටකට ජාත්‍යන්තරය හමුවේ මූල්‍ය විශ්වසනීයත්වය රැකගැනීමට ඇති එකම සහතිකය එයයි. 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිවිශාල ණය ප්‍රතිව්‍යුහගතකරණ වගකීම් පියවන්නේ කෙසේද?

රජය මෙතෙක් IMF සමඟ ඉදිරි පසු විපරම් වැඩසටහනක් ගැන සාකච්ඡා ආරම්භ කර තිබේද, නැතහොත් ‘අපි අපේම ක්‍රමයකට යනවා’ යැයි කියමින් රට යළිත් අගාධයකට ඇද දැමීමට සැරසෙන්නේද යන්න රටට හෙළි කළ යුතුය. රවී කරුණානායක සභාව හමුවේ අවධාරණය කළේ, IMF යනු කටුක තීන්දුවක් වුවද, 2022 ආර්ථික මිනීවලෙන් ගොඩ ඒමට නම් තවදුරටත් ඔවුන්ගේ අත අල්ලාගෙන යාම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් නැති බවයි.

මැදපෙරදිග යුද්ධය සහ ලංකාවට එන ‘බිල්පත’

අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන යුද වාතාවරණය කොළඹට දැනෙන්නේ කෙසේදැයි ආණ්ඩුව තවමත් නිසි තක්සේරුවක් කර නැත.

  • ලෝක වෙළෙඳ ගමනාගමනය අවහිර වීම,
  • බොරතෙල්, ගෑස්, ගල්අඟුරු සහ පොහොර මිල අහස උසට නැගීම,
  • ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම,

හමුවේ මෙරට ආර්ථිකයට මාසිකව එකතු වන අතිරේක වියදම ඩොලර් මිලියන කීයක්ද? සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් සහ විදේශ ප්‍රේෂණ අඩුවීමෙන් අහිමි වන ආදායම කොපමණද? මෙම පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව සතු මූල්‍ය සැලැස්ම (Contingency Plan) කුමක්දැයි පාර්ලිමේන්තුවට හෙළි නොකරන්නේ මන්ද?

කයිවාරු විකල්ප එපා: දත්ත සභාගත කරනු!

ආණ්ඩුව IMF මාවතෙන් බැහැරව වෙනත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඊනියා විකල්පවල වාසි සහ ජාත්‍යන්තර මූල්‍ය විශ්වසනීයත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් ජනතාව හමුවේ තැබිය යුතුය.

රවී කරුණානායක විසින් ආණ්ඩුවට එල්ල කරන ලද සෘජු අභියෝග මෙසේය:

  1. සැබෑ සංචිත ප්‍රමාණය හෙළි කරනු: භාවිත කළ හැකි සැබෑ විදේශ සංචිත ප්‍රමාණය සහ සීමා සහිත සංචිත වෙන් වෙන්ව රටට හෙළි කළ යුතුය.
  2. ණය බර වාර්තාව: ඉදිරි මාස 12 තුළ රට ගෙවිය යුතු විදේශ ණය වගකීම් ප්‍රමාණය කොපමණද?
  3. අර්බුද කළමනාකරණ සැලැස්ම (Scenario Planning): ලෝක වෙළෙඳපොළේ තෙල් මිල විවිධ මට්ටම්වලින් ඉහළ යද්දී රට මුහුණ දෙන තත්ත්වය පිළිබඳ ඉදිරි මාස 3, 6 සහ 12 සඳහා වන ආර්ථික පුරෝකථන වාර්තා වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ජනතාව පීඩාවට පත්කර විදේශ සමාගම් තර කිරීමේ තියරිය

ආර්ථික කම්පන එද්දී සුපුරුදු පරිදි පහර වදින්නේ මෙරට සාමාන්‍ය දුප්පත් ජනතාවටය. ඉලක්කගත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වෙනුවට ජනතාව අතහැර දැමීමට ආණ්ඩුවට ඉඩ දිය නොහැක.

විශේෂයෙන්ම, ඉන්ධන සහනාධාර ලබාදීමේදී මෙරට ක්‍රියාත්මක විදේශීය තෙල් සමාගම් තර කරනවා වෙනුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ශක්තිමත් කළ යුතුය. ඒ සමඟම, බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය කරමින්, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කරන සෘජු රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

කයිවාරුවලින් බඩ පිරෙන්නේ නැත; ඩොලර් හිඟය පියවෙන්නේද නැත. 2027 මාර්තු මාසයේදී රට යළි අගාධයකට නොවැටී බේරාගන්නා සැබෑ ‘බ්ලූප්‍රින්ට්’ එක රටට හෙළි කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

Latest Posts

spot_imgspot_img