ඕනෑම රස්සාවක පහළ තනතුරක ඉඳලා ඉහළ තනතුරකට යන්නේ ඇයි? තමන්ගේ දැනුමෙන්, පළපුරුද්දෙන් වැඩි සේවයක් රටට දීලා, ඒ මහන්සියට සරිලන ඉහළ වැටුපක් සහ ගෞරවයක් බලාපොරොත්තුවෙනුයි. ලෝකයේ කොහේවත් උසස්වීමක් ලැබුණාම පඩිය අඩුවෙන්නේ නැත. හැබැයි ලංකාවේ පාසල් පද්ධතිය ඇතුළේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්තයි.
අවුරුදු ගණනාවක් පන්ති කාමරයේ දරුවන්ට උගන්වලා, හොඳට පදම් වුණු ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් විදුහල්පති පුටුවට ගියොත් වෙන්නේ එයාගේ පඩිය තවත් අඩුවෙන එකයි! අද රටේ පාසල් දහස් ගණනක විදුහල්පති පුටු හිස්වෙලා තියෙන්නෙත්, දක්ෂ ගුරුවරු විදුහල්පති විභාග ලියන්න අකමැති වෙන්නෙත් ඇයි කියන ඇත්ත කතාව දැන් හෙළිවී තිබේ.
උසස්වීමක් වෙනුවට ඇටවූ ‘නව පත්වීම්’ උගුල
සාමාන්‍යයෙන් ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය හෝ 2-I ශ්‍රේණිය දක්වා ආපු ගුරුවරයෙක් කියන්නේ අවුරුදු ගණනාවක සේවා කාලයක් සහ ඉහළ වැටුප් වර්ධක හිමි කෙනෙකි. මෙවැනි කෙනෙක් විදුහල්පති සේවයට පිවිසෙන්නේ “උසස්වීමක්” විදිහටයි.
නමුත් 2014 ඔක්තෝබර් 22 වෙනිදා නිකුත් කරපු විදුහල්පති සේවා ව්‍යවස්ථාවෙන් නිලධාරීන් කර ඇත්තේ පුදුම සහගත සෙල්ලමකි. ඒ සේවා ව්‍යවස්ථාවෙන් ගුරුවරයෙක් විදුහල්පති වෙන එක “උසස්වීමක්” වෙනුවට “නව පත්වීමක්” බවට පත් කර ඇත.

මේ නිසා වෙන්නේ මොකක්ද?
- ශ්‍රේණියේ ඉන්න ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් විදුහල්පති වුණාම එයා වැටෙන්නේ විදුහල්පති III වන ශ්‍රේණියටයි. එතකොට එයාට ගුරු සේවයේ දිගටම හිටියා නම් හිමිවෙන ඉහළ වැටුප් වර්ධක අහිමි වී, අලුත් පත්වීමක් ලබපු කෙනෙක් විදිහට අඩු වැටුප් වර්ධකයකට කොටු වෙන්න සිද්ධ වේ. සරලවම කිව්වොත්, පාසලක වගකීම් දහසක් කරට අරගෙන විදුහල්පති වුණාම අතට ලැබෙන පඩිය ගුරු සේවයේ හිටියාටත් වඩා අඩුය! මේ අමන නීතිය නිසා පළපුරුදු ජ්‍යෙෂ්ඨ ගුරුවරු “අපි මොකටද අපේ පඩියත් කපාගෙන විදුහල්පති වෙන්නේ?” කියා විදුහල්පති විභාගය වර්ජනය කරන තත්ත්වයට පත්ව ඇත.

පාර්ලිමේන්තු කාරක සභාවේදී සියල්ල හෙළිවෙයි
මෙම සාපරාධී විෂමතාවය කෙතරම් දුරදිග ගොස් ඇත්ද යත්, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ මෙම කාරක සභාව, මේ ගැටලුව වහාම විසඳීම සඳහා විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට තීන්දු කළේය.
එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට නැවතත් “උසස්වීමක්” ලෙස සලකන පරිදි සේවා ව්‍යවස්ථාව වහාම සංශෝධනය කළ යුතු බවයි.
B.Ed උපාධිධාරීන්ටත් සාධාරණය ඉටුවෙයිද?
මීට අමතරව අධ්‍යාපනවේදී (B.Ed) උපාධිය හදාරා ක්ෂේත්රයට එන සුදුසුකම්ලත් ගුරුවරුන්ව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවාගැනීමේ පෙර පැවති ක්‍රමවේදය 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් සංදේශයක් හරහා එකඟතාවකට පැමිණ තිබේ. දැනට ගන්නා සාමාන්‍ය 23,000ක ගුරු බඳවාගැනීමට ඔවුන්ව පටලවන්නේ නැතිව, පළාත් මට්ටමින් පවතින විෂය පුරප්පාඩුවලට ඔවුන්ව යෙදවීමට තීරණය කර ඇත.

ලොක්කන්ගේ වැරදිවලට මුරකරුවන්ගේ පඩිය කපලා!
අධ්‍යාපන පරිපාලනයේ තවත් අසාධාරණයක් මෙහිදී අනාවරණය විය. ඒ දකුණු පළාතේ පාසල් රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකුට 2008-2009 කාලයේ සිදුවූ පරිපාලනමය දෝෂයකින් වැඩිපුර වැටුප් ගෙවා ඇති බව කියමින්, ඔවුන්ගෙන් රුපියල් මිලියන 50.8ක් අයකර ගැනීමට ගිය සිද්ධියයි.
මේ වන විටත් ඒ අසරණ මිනිසුන්ගේ වැටුපෙන් මිලියන 15.1ක් කපාගෙන අවසන්ය. කාර්යාලවල ලොක්කන් කළ වැරදිවලට අහිංසක සුළු සේවකයින්ගෙන් දඩකෑම සාධාරණ නොවන නිසා, ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දීමට කාරක සභාව තීරණය කළේය.
විසඳුම කඩදාසිවලට පමණක් සීමා නොවිය යුතුයි
පාසලක හදවත බඳු විදුහල්පති තනතුරට දක්ෂ, පළපුරුදු නායකයින් නොපැමිණියහොත් මුළු පාසල් පද්ධතියම කඩා වැටීම වැළැක්විය නොහැක. නීති රීති සහ ගැසට් පත්‍ර හදන්නන්ගේ අදූරදර්ශී තීරණ නිසා වැඩ කරන මිනිසාගේ පඩියට තට්ටු වන මෙවැනි ක්‍රම වහාම අහෝසි විය යුතුය. පත් කළ අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක වී, ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට සාධාරණය ඉටුවන තුරු රටේ ජනතාව මේ දෙස බලා සිටිති.



