Latest Posts

විභාග අක්‍රමිකතා චෝදනා: කොළඹ සරසවියේ උපකුලපති ඇතුළු හත්දෙනෙකුට නුගේගොඩ දිසා අධිකරණයෙන් නොතිසි

විභාග අක්‍රමිකතාවයන් හේතුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් නිරපරාදේ නාස්ති වූ බව පවසමින් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා සිසුවෙකු ගොනුකළ නඩුවකට අදාළව, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට සහ නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්‍ෂ මහතා නොතිසි නිකුත් කර තිබේ.

එළඹෙන 10 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් යම් උත්තරයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට නියෝග කළේය. මෙම නොතිසි ලියාපදිංචි තැපෑලෙන් සහ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් වගඋත්තරකරුවන්ට භාරදීමට පියවර ගෙන ඇත.

නඩුවේ වගඋත්තරකරුවන්

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පහත සඳහන් පිරිස නම් කර ඇත:

  • ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය (කථිකාචාර්ය – කළමනාකරණ හා මූල්‍ය පීඨය)
  • ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න මහතා (කථිකාචාර්ය – කළමනාකරණ හා මූල්‍ය පීඨය)
  • සෂිකා අබේධීර මනෝරත්න මහත්මිය (අංශ ප්‍රධානී)
  • එච්.එම්. නිහාල් හෙන්නායක මහතා (පීඨාධිපති)
  • වජිරා හපූහින්න ජයරත්න මහත්මිය (විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී)
  • එච්.ඩී. කරුණාරත්න මහතා (හිටපු උපකුලපති)
  • ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා (උපකුලපති)
  • නීතිපතිවරයා

නඩුවට මුල් වූ සිද්ධිය

මෙම වන්දි නඩුව පවරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පැවැත්වූ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2022/2023) හැදෑරූ සනත් කුමාර අතුකෝරළ නැමැති සිසුවා විසිනි. නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමෙහි සඳහන් වන පරිදි, පාඨමාලාවේ දෙවැනි ඇගයීමේදී ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ (508) සහ ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ (510) යන විෂයන් සම්බන්ධයෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇත.

පෙත්සම්කරු සඳහන් කරන්නේ 508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය පෞද්ගලික මුදල් ඉල්ලීමක් කළ අතර, ඊට තමන් එකඟ නොවූ බවයි. පසුව පැවැති දෙදින වැඩමුළුවකදී ඇතිවූ පෞද්ගලික මතභේදයක් මුල්කරගනිමින්, ඇය පෞද්ගලික වෛරයකින් කටයුතු කර නියමිත ලකුණු දීමේ ක්‍රමවේදයෙන් බැහැරව තමන්ව විභාගයෙන් අසමත් කර ඇති බවට හෙතෙම චෝදනා කරයි. තවද, විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයේ කරුණු වෙනත් සිසු කණ්ඩායමකට හෙළිදරව් කළ බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

විභාග නැවත පැවැත්වීමකින් තොරව ප්‍රතිඵල වෙනස් කිරීම

2025 ජනවාරි මාසයේදී තමන් ඇතුළු පිරිසක් අසමත් ලෙස ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව පාලනාධිකාරියට පැමිණිලි කළ බවත්, ඉන්පසු කිසිදු නැවත විභාගයක් නොපවත්වා 2025 අප්‍රේල් මාසයේදී අදාළ සිසුන් සමත් කරමින් නව ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එමෙන්ම 510 විෂයෙහි කණ්ඩායම් ව්‍යාපෘතිය සඳහා සක්‍රීයව සම්බන්ධ නොවූ සිසුන්ටද පූර්ණ ලකුණු ලබාදී ඇති බවටත්, විභාග අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ අවසන් වීමට මත්තෙන් අසමත් වූ සිසුවෙකුට උපාධිය ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බවටත් පෙත්සම්කරු චෝදනා කරයි.

රුපියල් ලක්ෂ 50ක වන්දි ඉල්ලීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කළද සාධාරණයක් ඉෂ්ට නොවූ බව පවසන පෙත්සම්කරු, විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම අත්තනෝමතික හා අනීතික ක්‍රියාකලාපය නිසා තමන් සමාජය හා මිතුරන් හමුවේ අපහසුතාවයට පත්වූ බවත්, නාස්ති වූ කාලය, ශ්‍රමය සහ ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

සිද්ධියට අදාළ නඩුව එළඹෙන 10 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img