Latest Posts

අවුරුදු 5ක් පාස්වර්ඩ් එක අමතක වුණු සේප්පුවෙන් ලක්ෂ 18කුයි, රත්තරන් පා සළඹයි එළියට! නාමල්ගේ ලේකම් සංජේ සමරසිංහ කොටුවුණු හැටි!

දේශපාලන බලය අතැතිව සිටි යුගයේ අතවැසියන් කළ කී දෑ එකින් එක එළියට එන තවත් එක් නින්දිත ජවනිකාවක් පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයකු වන සංජේ සමරසිංහ සන්තකයේ තිබූ මුදල්වල මූලාශ්‍ර හෙළි කරගත නොහැකිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ දැලට හසුවීමේ සිදුවීමයි.

නමුත් මෙහි වඩාත්ම හාස්‍යජනක මෙන්ම විමර්ශකයන් පවා මවිත කළ කරුණ වන්නේ, සැකකාර ලේකම්වරයා නීතියෙන් බේරීමට ගෙතූ බොළඳ නාටකයයි.

අල්මාරියේ සඟවා තිබූ සේප්පුව සහ “පාස්වර්ඩ් මතක නෑ” නාටකය

අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ කාමරයේ අල්මාරියක් තුළ සඟවා තිබූ සේප්පුවක් හමුවී තිබේ. නිලධාරීන් එය විවෘත කරන ලෙස ඉල්ලා සිටි විට, සැකකාර සංජේ සමරසිංහ ලබා දී ඇත්තේ අමුතුම පිළිතුරකි:

“මේක අවුරුදු පහකට කලින් ඇරියට පස්සේ ආයේ ඇරියේ නෑ. දැන් මට ඕකේ කෝඩ් එක (මුරපදය) මතක නෑ ස්වාමීනි…”

තමන්ගේම නිවසේ තමන්ගේම කාමරයේ ඇති සේප්පුවක මුරපදය අමතක වූ බව පවසමින් විමර්ශකයන් මංමුලා කිරීමට ගත් උත්සාහය හමුවේ අල්ලස් කොමිසම පසුබට වූයේ නැත. පසුදිනම (ඔක්තෝබර් 19) සේප්පුව සිය භාරයට ගත් නිලධාරීන්, අදාළ සමාගමේ කාර්මික ශිල්පියකු ගෙන්වා බලහත්කාරයෙන් එය විවෘත කළේය.

සේප්පුව ඇරියම හමුවූ වස්තුව

අවුරුදු පහක් තිස්සේ “අතවත් තැබුවේ නැතැයි” කී සේප්පුව තුළ තිබී හමුවූ දෑ මෙසේය:

  • රුපියල් ලක්ෂ 18ක අමු මුදල්
  • රන් පැහැති පා සළඹ 08ක්
  • රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා සුපිරි පන්නයේ Cartier (කාටියා) අත්ඔරලෝසුවක්

එකකට එකක් පරස්පර ගොතපු කතා

අවුරුදු පහක් සේප්පුව වහලා තිබුණා නම්, ඒ තුළ මෙතරම් මුදල් සහ වටිනා භාණ්ඩ තිබුණේ කෙසේද? අල්ලස් කොමිසම හමුවේ සැකකරු පවසා ඇත්තේ එම ලක්ෂ 18න් ලක්ෂ 15ක් තමන්ගේ බවත්, ඉතිරි ලක්ෂ 3 මවගේ බවත්ය.

එම මුදල් උපයා ගත් ආකාරය විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර වාහනයක් විකුණා ලබාගත් මුදල් එම සේප්පුවේ දමා තිබූ බවයි. අවුරුදු පහක් සේප්පුවේ කේතය අමතකව තිබියදී, සේප්පුව ඇතුළේ ඇති සතේටම මුදල් ගණන් මතක තිබීමත්, වාහනයක් විකුණූ මුදල් බැංකුවක නොදමා සේප්පුවේ දිරන්නට හැරීමත් විමර්ශකයන් හමුවේ ඔහු දැක්වූ පරස්පර ප්‍රකාශ අතරින් කැපී පෙනුණි.

ඇප ලැබුණත් දැල තවමත් තදයි

2025 අංක 5 දරන අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනතේ 70 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

කෙසේ වෙතත්, ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම හමුවේ රටින් පැන යාමට ඇති ඉඩකඩ වැසී ගොස් ඇත. දේශපාලන බලවතුන්ගේ සෙවණැලි යට සිටි මෙවැනි “ලේකම්වරුන්ගේ” සේප්පුවලින් හමුවන කළු සල්ලි සහ රන් ආභරණ පිටුපස ඇති සැබෑ මහමොළකරුවන් කවුද යන්න හෙළිදරව් කර ගැනීම දැන් අල්ලස් කොමිසම හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

Latest Posts

spot_imgspot_img