ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රශ්න කිරීමකින් පසු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනගාරගත කිරීම, වත්මන් මාලිමා ආණ්ඩුව තමන්ගේ ප්‍රධානම දේශපාලන ජයග්‍රහණයක් සහ “දූෂණ විරෝධී” ප්‍රතිරූපය සමාජගත කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන මෙවලම බවට පත්ව ඇත. එක් පසෙකින් නාමල් රාජපක්ෂ සිරගත කරමින් තමන් දූෂණයට එරෙහි බවට රටට පෙන්වන මාලිමා පාලනය, අනික් පසින් රාජපක්ෂ පවුලේ දූෂිත මූල්‍ය යන්ත්‍රණය වූ CSN (කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්) නාලිකාවේ පසුබිම් ක්‍රියාකාරකම් සහ එයින් ඔවුන් ලබන මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මාරාන්තික නිහඬතාවකි.
මෙය නීතිය සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීමක්ද? නැතහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් රාජපක්ෂවරුන්ගේ පැරණි ව්‍යාපාරික ජාලයන්ට යටින් යහතින් පැවැත්මට ඉඩ සලසා දෙන දේශපාලන ඩීල් එකක්ද?

සිරගෙදර ඉදිරිපස දොර – ඩීල් එක පිටුපස දොර
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එයාර් බස් වංචාව, ක්‍රිෂ් ගනුදෙනුව, වසීම් තාජුදීන් ඝාතනය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේනානි සමරනායකට නිකන් වැටුප් ගෙවීම සහ නීති විද්‍යාල විභාග වංචාව ඇතුළු බරපතල චෝදනා රැසක් පවතී. එම චෝදනාවලට නීතිය හමුවේ පිළිතුරු දීම ඔහු කළ යුතුය. නමුත්, ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව මේ අත්අඩංගුවට ගැනීම් මාධ්‍ය සංදර්ශනයක් ලෙස පාවිච්චි කරමින්, රාජපක්ෂ පවුල මහජන මුදලින් ගොඩනැගූ ව්‍යාපාරික ජාලයන්ගේ මුලින්ම කපා දැමීමට අසමත් වීමයි.
CSN නාලිකාව යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජාතික රූපවාහිනියේ සම්පත්, OB රථ, කැමරා ශිල්පීන්, වීඩියෝ සංරක්ෂිතයන් (Archives) අමු අමුවේ කොල්ලකමින් සහ කෝටි ගණනක ක්‍රිකට් විකාශන අයිතිය අයුතු ලෙස අත්පත් කරගනිමින් ගොඩනැගූ නාලිකාවකි. එමෙන්ම, රුපියල් මිලියන 59කට අධික සැකසහිත මූල්‍ය අරමුදල් මගින් පවත්වාගෙන ගිය මෙම නාලිකාව, පසුකාලීනව “මාතා TV” වැනි විවිධ වෙස්ගැන්වීම් හරහා නැවත කරළියට පැමිණීමට සහ විකාශන ක්ෂේත්රය තුළ රැඳී සිටීමට කටයුතු කළේය.
ආණ්ඩුවේ නායකයන්ගේ “ව්‍යාජ” දූෂණ විරෝධය
මාලිමා ආණ්ඩුව බලයට පත්වූයේ රාජපක්ෂවරුන්ගේ දූෂිත දේපළ රාජසන්තක කරන බවටත්, ඔවුන් මහජන මුදලින් උපයාගත් නීතිවිරෝධී ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවටත් පොරොන්දු වෙමිනි. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
- නීතිමය හිඩැස් තැබීම: නාමල් රාජපක්ෂ පුද්ගලිකව අත්අඩංගුවට ගත්තද, CSN වැනි ආයතන හරහා රාජපක්ෂ පවුලට තවමත් අඛණ්ඩව ගලා එන ආදායම් මාර්ග හෝ ඊට යටින් දිවෙන ව්‍යාපාරික ජාලයන් විගණනය කිරීමට හෝ තහනම් කිරීමට ආණ්ඩුව තදින් නීතිය ක්‍රියාත්මක කර නැත.
- තහනම් නාලිකා නැවත සක්‍රීය වීම: විකාශන කොන්දේසි කඩකිරීම නිසා අතීතයේ තහනම් වූ CSN නාලිකාවේ නීතිමය සහ තාක්ෂණික දේපළ භාවිත කරමින්, වෙනත් නාමපුවරුවලින් නැවත ආදායම් ඉපැයීමට ඉඩ හැර තිබීම මාලිමා ආණ්ඩුවේ අනුග්‍රහය මත සිදුවන්නක් බවට චෝදනා එල්ල වේ.
- රාජ්‍ය සම්පත් අයකර නොගැනීම: ජාතික රූපවාහිනියෙන් CSN නාලිකාව කොල්ලකෑ කෝටි ගණනක සම්පත් සහ පාඩුවූ ආදායම් නැවත ලබාගැනීමට ආණ්ඩුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් සක්‍රීයව ගෙන නොමැත.

නාමල් ඇතුලට – ආදායම් පාර දිගට!
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනගාරයට යැවීම මගින් ජනතාවගේ දූෂණ විරෝධී ආවේගය තාවකාලිකව පාලනය කිරීමට ආණ්ඩුවට හැකිවනු ඇත. නමුත්, රාජපක්ෂ පවුලට CSN නාලිකාව සහ ඊට අනුබද්ධ ආයතන හරහා තවමත් මූල්‍යමය ලෙස ශක්තිමත් වීමට ඉඩහැරීම මගින් පැහැදිලි වන්නේ, මාලිමා ආණ්ඩුව කරන්නේද පැරණි “ඩීල් දේශපාලනයේ” ම තවත් එක් අදියරක් බවයි.
පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් දූෂණය නතර වන්නේ නැත. දූෂණයෙන් උපයාගත් දේපළ සහ ආදායම් මාර්ග රාජසන්තක නොකරන්නේ නම්, නාමල් රාජපක්ෂ ඇතුලට දැමීම හුදෙක් දේශපාලන ප්‍රචාරණ නාඩගමක් පමණි. රාජපක්ෂ පවුලට CSN හරහා ආදායම් ඉපැයීමට ඉඩ සලසා දෙමින් සිදුකරන මේ ද්විත්ව රංගනය පිළිබඳව මාලිමා ආණ්ඩුව රටට උත්තර දිය යුතුය.



