Latest Posts

තිරය පිටුපස සිරවුණු රෝද හතරේ ජීවිත: ඇල්ගොරිතමයකට උකස් කළ කුලී රථ රියදුරාගේ ඛේදවාචකය

ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරය මත කුඩා තිතක් සේ දිස්වන කුලී රථය අප සිටින තැනට ළඟා වන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. යෙදුම හරහා බොත්තමක් ස්පර්ශ කළ සැණින් වායුසමනය කළ රථයක් අප අසලට පැමිණීම නාගරික ජීවිතයේ අතිශය සාමාන්‍ය පහසුවක් බවට පත්ව තිබේ. එහෙත්, සුක්කානම අතැතිව අප ඉදිරියේ සිනහමුසු මුහුණින් සිටින රියදුරාගේ ජීවිතය දෙසට ඔබ මොහොතකට හෝ එබී බලා තිබේද?

අපි ඔහුට අක්‍රම් යැයි කියමු. කොළඹ නගරයේ අධික රථවාහන තදබදය මැදින් ඇදෙන අක්‍රම්ගේ මෝටර් රථයේ ඉදිරිපස සවිකර ඇති ජංගම දුරකථන තිරය නොනවත්වා දිලිසෙයි. තත්පරයෙන් පංගුවක කාලයක් තුළ තිරය මතට එන සංඛ්‍යා සහ දත්ත කියවා ගැනීමට ඔහුගේ විඩාවෙන් පිරි දෑස් වෙහෙසෙයි.

අප මේ ගමන් කරන්නේ, තාක්ෂණික විප්ලවයක සහ රැකියා උත්පාදනයේ මුවාවෙන් ක්‍රියාත්මක වන අතිශය කූට ශ්‍රම සූරාකෑමක සිරවී සිටින දහස් සංඛ්‍යාත කුලී රථ රියදුරන්ගේ හෘද සාක්ෂිය දරාගත් එවන් සහෝදරයෙකු සමඟ දෙවසරකට පෙර සහෝදරයින්ට පාලනය කිරීමට බලය ලබාදුන් රටකය.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ UBER සහ PICKME වැනි කුලී රථ සේවා සඳහා පවතින්නේ අතිශය ඉහළ ඉල්ලුමකි. එහෙත් තම පෞද්ගලික වාහනය අදාළ සමාගම්වල ඩිජිටල් යෙදුම් වෙත යොදවා කුලී ප්‍රවාහනයේ නිරත වන රියදුරන් මුහුණ දෙන දැවැන්ත ආර්ථික හා ව්‍යුහාත්මක අර්බුදය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගී ඇත්තේ ඉතා අඩුවෙනි. මේ පෙළගැසෙන්නේ එවන් රියදුරන් විසින් වරින් වර අප වෙත හෙළිදරව් කළ සත්‍ය කරුණු සහ අත්දැකීම් පදනම් කරගත් විචාරාත්මක විග්‍රහයකි.

‘ඔබේම ස්වාමියා වන්න’ යන මායාව සහ ණය උගුල

2022 වසරේ රට මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය සහ රැකියා අහිමිවීම් හමුවේ, ශ්‍රී ලංකාවේ අවිධිමත් ශ්‍රම බලකාය සමස්ත සේවා නියුක්තියෙන් සියයට 56.9 දක්වා ඉහළ ගියේය. සාම්ප්‍රදායික ආදායම් මාර්ග ඇහිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මෙම ඩිජිටල් වේදිකා ආර්ථිකය පෙනුණේ එකම ගැලවුම්කරුවා ලෙසිනි.

තමන්ගේම වේලාවට වැඩ කරමින් ස්වාධීන ව්‍යවසායකයෙකු වීමේ ආයතනික ආකර්ශනයට වශී වූ අක්‍රම්ලා, රන් භාණ්ඩ උකස් කර හෝ අධික පොලියට ලීසිං සහ ෆිනෑන්ස් ණය ලබාගෙන අලුතින්ම වාහන මිලදී ගත්තේ ස්ථාවර අනාගතයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනි.

ආරම්භයේදී සියල්ල සිහිනයක් මෙන් සුන්දර විය. අලුතින් ලියාපදිංචි වන නවක රියදුරන්ගේ ගිණුම් සඳහා පද්ධතියේ ඇල්ගොරිතමය මගින් ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙමින්, අඛණ්ඩව ලාභදායී සහ දුර ගමන් යොමු කළේය. මෙය ආර්ථික විද්‍යාවේදී මධුසම අවධිය ලෙස හැඳින්වේ.

එහෙත් එම මධුසමය වැඩි කල් පැවතුණේ නැත. රියදුරා වාහන ණය වාරිකයට සම්පූර්ණයෙන්ම සිරවී, වේදිකාවෙන් ඉවත්ව යා නොහැකි ආර්ථික යැපීමකට පත්වූ වහාම ඇල්ගොරිතමය සිය සැබෑ ස්වරූපය පෙන්වන්නට විය.

පැරණි රියදුරන්ට ලැබෙන ගමන් ප්‍රමුඛතාවය ක්‍රමානුකූලව කප්පාදු කෙරුණු අතර, සමාගම තම ශ්‍රම සැපයුම කෘත්‍රිමව වැඩිකර ගැනීම සඳහා නැවතත් නවකයින් දැලට හසුකර ගැනීමේ උපක්‍රමය ක්‍රියාත්මක කළේය. ණය වාරිකය සහ දෛනික ජීවන වියදම පියවා ගැනීමට නම්, කොන්දේසි කොතරම් අසාධාරණ වුවද නිදිවර්ජිතව පාරේ රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් අක්‍රම්ලාට ඉතිරි වූයේ නැත.

දවසේ ආදායම උපයන්නටත් පෙර ගෙවිය යුතු පෙරගෙවුම් පැකේජ

ශ්‍රී ලංකාව තුළ ඌබර් සේවාව ආරම්භ වූ මුල් යුගයේදී අය කළේ කුලී ගමනකින් සියයට පහක්, දහයක් හෝ පහළොවක් වැනි සාධාරණ කොමිස් මුදලකි. එහෙත් වර්තමානය වන විට එම ආකෘතිය වෙනස් කර, අතිශය සූරාකන සුළු පෙරගෙවුම් පැකේජ ක්‍රමයක් රියදුරන් මත පටවා ඇත.

දැන් රියදුරෙකුට සේවය ආරම්භ කිරීමට පෙරම දිනකට රුපියල් 1,000 සිට 1,200 දක්වා හෝ සතියකට රුපියල් 1,500 සිට 5,000 දක්වා වූ විවිධ පැකේජ මිලදී ගැනීමට බලකෙරේ. මෙහි ඇති බරපතළම අසාධාරණය වන්නේ රියදුරා මුදල් ගෙවා පැකේජයක් සක්‍රීය කර ගත්තද, ඊට සරිලන පරිදි කුලී ගමන් ලබා දීමට සමාගම කිසිදු නෛතික හෝ සදාචාරාත්මක බැඳීමක් ඇති කර නොගැනීමයි.

ඇතැම් දිනවල රියදුරාට ලැබෙන්නේ සොච්චම් ගමන් එකක් හෝ දෙකක් පමණක් වන අතර, අදාළ දිනයේ මධ්‍යම රාත්‍රී 12.00 වන විට එම පැකේජය ස්වයංක්‍රීයව කල් ඉකුත් වේ. ප්‍රමාණවත් ගමන් නොලැබුණද ගෙවූ මුදලින් ශතයක්වත් පසුදිනට ඉදිරියට ගෙන යාමක් සිදු නොවේ.

මුදල් ගෙවා පැකේජයක් සක්‍රීය කළ පසු, අහිමි වූ මුදල කෙසේ හෝ පියවා ගැනීමේ දැඩි ආතතියෙන් රියදුරාට දිගින් දිගටම පද්ධතිය තුළ රැඳී සිටීමට සිදුවේ. නොබැඳිව නොයන ලෙස පද්ධතියෙන් එන පණිවිඩ හරහා රියදුරාව මානසිකව හසුරුවන අතර, පාඩු ලබන අඩු මිල ගමන් පවා අකමැත්තෙන් භාර ගැනීමට ඔවුනට සිදුවේ.

මෙමගින් වෙළඳපොළේ ඉල්ලුම අඩුවීම, වැසි සහිත අයහපත් කාලගුණය සහ අධික රථවාහන තදබදය වැනි සියලු ව්‍යාපාරික අවදානම් සමාගම විසින් සම්පූර්ණයෙන්ම රියදුරා මත පටවා, තමන්ගේ දෛනික ආදායම සියයට සියයක්ම සුරක්ෂිත කර ගනී.

තත්පර එකක තීරණය සහ ට්‍රිප් රේඩාර් මර උගුල

අක්‍රම්ගේ රථයේ තිරය මත හදිසියේම ගමනක් සටහන් වන්නේ ට්‍රිප් රේඩාර් විකාශන පද්ධතිය හරහාය. එක් රියදුරෙකුට එක් ගමනක් යොමු කිරීම වෙනුවට, මෙහිදී සිදුවන්නේ එකම කුලී ගමන අවට සිටින රියදුරන් සියයකට පමණ එකවර තිරය මත ප්‍රදර්ශනය කිරීමයි.

ගමන තමන් සතු කරගැනීමට රියදුරාට ලැබෙන්නේ තත්පර එකක් හෝ දෙකක් වැනි අංශුමාත්‍ර කාලයකි. ගමනාන්තය කොහිද, ඒ සඳහා කොපමණ දුරක් යා යුතුද, ගමනේ මිල කොපමණද සහ එය තමන්ට පාඩුද ලාභද යන්න ගණනය කිරීමට කිසිදු මිනිසෙකුට එම කාලය ප්‍රමාණවත් නොවේ. ගමන අහිමි වේය යන බිය නිසා රියදුරෝ තොරතුරු කියවා බැලීමකින් තොරව ක්ෂණිකව තිරය ස්පර්ශ කරති.

මෙම අමානුෂික තරඟකාරීත්වය ජය ගැනීම සඳහා බොහෝ රියදුරන්ට ඔටෝ ටච්, මයිස්ට්‍රෝ සහ ඉසෙඩ්-ෆෙයාර් වැනි තෙවන පාර්ශවීය බාහිර මෘදුකාංග භාවිත කිරීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මෙවැනි යෙදුම් මගින් මිලි තත්පර ගණනක් ඇතුළත කිලෝමීටරයකට ලැබෙන මිල ගණනය කර ස්වයංක්‍රීයව ගමන ලබා ගනී. රියදුරන්ට මෙවැනි බාහිර මෘදුකාංග මත යැපීමට සිදුවීමෙන්ම ප්‍රධාන යෙදුමේ පවතින සූරාකන ස්වභාවය පැහැදිලි වේ.

එහෙත් මෙහි ඇති බරපතළම ප්‍රතිවිපාකය වන්නේ, අත්වැරදීමකින් අධික තදබදයක් සහිත හෝ පාඩු ලබන ගමනක් භාරගෙන එය පසුව අවලංගු කළහොත් සිදුවන හානියයි. රියදුරෙකු ගමනක් අවලංගු කළ සැණින් ඇල්ගොරිතමය මගින් ඔහුගේ අවලංගු කිරීමේ අනුපාතය ඉහළ දමයි.

ලැදියා වැඩසටහන්වල රන්, ප්ලැටිනම් හෝ දියමන්ති වැනි ඉහළ මට්ටම්වල සිටින රියදුරෙකුගේ අවලංගු කිරීමේ අනුපාතය සියයට හතරකට වඩා අඩුවෙන් පවත්වා ගත යුතු අතර, එය සියයට දහය ඉක්මවූ වහාම ඔවුන්ගේ සියලු ප්‍රමුඛතාවයන් සහ වරප්‍රසාද අහිමි කරනු ලැබේ. තොරතුරු කියවා බැලීමට ප්‍රමාණවත් කාලයක් නොදෙන පද්ධතියම, නොදැනුවත්ව සිදුවන වැරදි නිවැරදි කිරීමට උත්සාහ කරන විට රියදුරාට දැඩි ලෙස දඬුවම් පමුණුවයි.

වාහන කාණ්ඩගත කිරීමේ විෂමතා සහ මගීන් සමඟ ගැටුම්

පද්ධතිය තුළ ක්‍රියාත්මක වන තවත් උපක්‍රමයක් වන්නේ වාහන කාණ්ඩගත කිරීමේ අක්‍රමිකතාවයි. මගීන් අඩු මුදලක් ගෙවීමේ අරමුණින් ඇල්ටෝ වැනි කුඩා වාහන කාණ්ඩ වෙන්කරවා ගත්තද, එම අවස්ථාවේ කුඩා වාහන නොමැති විට පද්ධතිය විසින් එම ගමන සෙඩාන්, ප්‍රියස් හෝ වැගන් ආර්, මිනි වෑන් වැනි විශාල වාහන වෙත යොමු කරනු ලබයි.

මෙහිදී විශාල වාහනය හිමි රියදුරාට ගෙවනු ලබන්නේ පාරිභෝගිකයා ඉල්ලුම් කළ කුඩා ඇල්ටෝ රථයේ අඩු ගාස්තුවමය. ඉහළ ඉන්ධන සහ නඩත්තු පිරිවැයක් දරමින් විශාල වාහනයක් ධාවනය කරන රියදුරාට ඉන් සිදුවන්නේ දැවැන්ත මූල්‍ය පාඩුවකි.

තවද මෙය මගීන් සහ රියදුරන් අතර බරපතළ ගැටුම් ද නිර්මාණය කරයි. කුඩා වාහනයක් වෙන්කරවා ගෙන, පැමිණෙන්නේ කේ.ඩී.එච් වැනි මිනි වෑන් රථයක් බව දුටු විට මගීන් හය දෙනෙකු පමණ බලහත්කාරයෙන් පැටවීමට ඇතැම් මගීහු උත්සාහ කරති. ඊට රියදුරා විරෝධය පෑ විට, එසේනම් ඔයා යන්නැයි පවසමින් මගියා ඉතා අහංකාර ලෙස ගමන අවලංගු කර දමයි. එවිට රියදුරාට මගියා සිටින ස්ථානයට පැමිණීමට වැය වූ ඉන්ධන සහ කාලය සම්පූර්ණයෙන්ම අපතේ යන අතර, කිසිදු වන්දි මුදලක් සමාගමෙන් නොලැබී යයි.

මීට අමතරව, විශාල සහ ලාභදායී කුලී ගමන් ප්‍රථමයෙන් ප්‍රියස් වැනි විශාල කාර් රථ වෙත යොමු කර, ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් වැගන් ආර් රථවලටත්, අවසානයේදී පමණක් ඇල්ටෝ රථ වෙත ලබා දීමේ වෙනස්කම් සහගත කුලවාදී ප්‍රතිපත්තියක් ඇල්ගොරිතමය තුළ ක්‍රියාත්මක වන බවට රියදුරෝ දැඩි ලෙස චෝදනා කරති.

දුර ගමන් සහ ගමනාන්ත මාදිලියේ සූරාකෑම

උපරිම ආයතනික ලාභය අරමුණු කරගත් පූර්ව මිල නියම කිරීමේ ක්‍රමය හරහා දුර ගමන් සඳහා ගෙවන්නේ අතිශය අසාධාරණ සොච්චම් මුදලකි. කොළඹ සිට හැටන් දක්වා කිලෝමීටර් 110 ක කඳුකර දුර ගමනක් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 10,000 ක් වැනි මුදලකි. එසේම කොළඹ සිට නුවරඑළිය දක්වා වූ ගමනක් සඳහා මිනි වෑන් රථයකට පවා ගෙවන්නේ රුපියල් 14,000 ක් පමණි.

වත්මන් ඉන්ධන මිල සහ කඳුකර මාර්ගවල වාහනයක ධාවන කාර්යක්ෂමතාව පහත වැටීම සලකා බලන විට, මෙම මුදලින් ඉන්ධන වියදම පියවා ගත් පසු රියදුරාගේ ශ්‍රමයට හෝ වාහනයේ ක්ෂය වීමට කිසිදු මුදලක් ඉතිරි නොවේ. සාමාන්‍ය කුලී රථයක් අය කරන සාධාරණ මිල මීට වඩා බෙහෙවින් ඉහළය.

මෙහි වඩාත්ම සූරාකන උපක්‍රමය වන්නේ ගමනාන්ත මාදිලිය හෙවත් ඩෙස්ටිනේෂන් මෝඩ් පහසුකමයි. ගුවන්තොටුපළ හෝ දුර බැහැර ප්‍රදේශයකට ගොස් ආපසු නිවස බලා හෝ නගරයට පැමිණෙන රියදුරා, හිස් වාහනයෙන් ඒමට ඇති අකමැත්ත නිසා කිසියම් හෝ ආදායමක් ලබා ගැනීමට මෙම පහසුකම සක්‍රීය කරයි. රියදුරා කෙසේ හෝ එම දිශාවට යා යුතු බව දන්නා ඇල්ගොරිතමය, එම ආර්ථික දුර්වලතාවය ගසාකමින් සාමාන්‍ය ගාස්තුවටත් වඩා ඉතා අඩු මිලකට අදාළ ගමන පවරයි.

කම්කරු නීතියේ හිඩැස සහ විසඳුම් සෙවීමේ මාවත

ගිග් ආර්ථිකයේ නියුතු ශ්‍රමිකයන්ගෙන් සියයට 75 ක්ම මෙය සිදු කරන්නේ තම පූර්ණකාලීන ජීවනෝපාය වශයෙනි. එහෙත් ඔවුන් ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස නම් කර ඇති බැවින්, දිනකට පැය 9 ක සේවා මුරය සීමා කරන කර්මාන්තශාලා ආඥාපනතේ රැකවරණය ඔවුන්ට අහිමිය. සමීක්ෂණ වාර්තාවලට අනුව, මෙම රියදුරන් දිනකට පැය 11 සිට 16 දක්වාත්, ණය වාරික සහ පැකේජ මුදල් පියවා ගැනීම සඳහා ඇතැම් දිනවල පැය 24 පුරාත් අඛණ්ඩව ධාවනයේ යෙදෙති.

සෙල්සියස් අංශක 36 ඉක්මවන අධික උෂ්ණත්වය, මහ වැසි සහ ගංවතුර තත්ත්වයන් මධ්‍යයේ විවේකයකින් තොරව සේවය කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව සිටියද, රෝග නිවාඩු, සේවක අර්ථසාධක අරමුදල් හෝ වෘත්තීය ආරක්ෂණ සෞඛ්‍ය රක්ෂණ ඔවුන්ට හිමි නොවේ.

දේශීය වේදිකාවක් වන පික්මී සේවාව තුළ ඌබර් හි මෙන් පෙරගෙවුම් පැකේජ නොමැති වුවද, අධික කොමිස් අය කිරීම් සහ සූරාකෑම් මුල්කරගෙන ලක්ෂයක් පමණ වන රියදුරන් නියෝජනය කරමින් කොළඹ සහ නුගේගොඩ ප්‍රදේශවල මෑතකදී දැවැන්ත වෘත්තීය විරෝධතා සහ වර්ජන දියත් විය. ගෝලීය ෆෙයාර්වර්ක් පර්යේෂණ ප්‍රමිතීන්ට අනුව ගත් කල සාධාරණ ගෙවීම්, සාධාරණ සේවා කොන්දේසි, සාධාරණ කළමනාකරණය සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය යන මූලික අයිතිවාසිකම් සියල්ලම පාහේ මෙහිදී බිඳවැටී ඇත.

මෙම අර්බුදයෙන් රටේ ශ්‍රමිකයන් ආරක්ෂා කරගැනීම සඳහා රජය, කම්කරු දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වහාම ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත් විය යුතුය.

ගිග් ශ්‍රමිකයන් හුදු ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස ලේබල් කිරීම නවත්වා, නව කම්කරු නීති හරහා ඩිජිටල් මුදල් පසුම්බි හෝ ජාතික ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති මගින් ජංගම සමාජ ආරක්ෂණ ගිණුම් හඳුන්වා දී ඊට දායක වීමට සමාගම්වලට නීතිමය වශයෙන් බලකළ යුතුය.

එසේම ඉන්ධන මිල සහ නඩත්තු පිරිවැය සැලකිල්ලට ගනිමින් කිලෝමීටරයකට අදාළව සාධාරණ අවම මූලික මිල සීමාවක් සහ ගමනාන්ත මාදිලිය සඳහා සාධාරණ වන්දියක් නීතිගත කිරීම අත්‍යවශ්‍ය වේ.

වැඩ කිරීමට පෙර මුදල් අයකරන සූරාකන පෙරගෙවුම් පැකේජ ක්‍රම වහාම අහෝසි කොට, රියදුරා උපයන සැබෑ ආදායමෙන් පමණක් සාධාරණ ප්‍රතිශතයක් අය කරගන්නා ක්‍රමය අනිවාර්ය කළ යුතුය.

ගාස්තු තීරණය වන ආකාරය සහ ගමන් බෙදාහැරීම් පිළිබඳව පූර්ණ විනිවිදභාවයක් ලබාදීම මෙන්ම, අසාධාරණ ලෙස ගිණුම් අත්හිටුවීම්වලට එරෙහිව කරුණු දැක්වීමට ස්වාධීන බාහිර මානව අභියාචනා මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ වාහන කාණ්ඩ විධිමත්ව පවත්වාගෙන යාම තහවුරු කිරීමට රජය මගින් අඛණ්ඩ තාක්ෂණික විගණන පැවැත්වීම කාලීන අවශ්‍යතාවකි.

ඩිජිටල් ප්‍රවාහන සේවාවන් යනු නූතන නාගරික දිවියේ පහසුව උදෙසා අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් එම පහසුව සහ සමාගම් ලබන බිලියන ගණනක ලාභය ගොඩනැගිය යුත්තේ සුක්කානම කරකවන අක්‍රම්ලාගේ නිදිවර්ජිත දහඩිය සහ කඳුළු මත නොවේ. නීතිමය සහ ප්‍රතිපත්තිමය නියාමනයකින් තොරව මෙම ඩිජිටල් වහල්භාවයට තවදුරටත් ඉඩ හැරියහොත්, තාක්ෂණික දියුණුවේ නාමයෙන් විනාශ වන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක පවුල්වල ජීවිත බව පාලකයන් තේරුම් ගත යුතුය.

Source: slleader.lk

Latest Posts

spot_imgspot_img