කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්රමුඛ පෙළේ සමාගමක් වන ‘ඒෂියා කැපිටල්’ (Asia Capital) හි බහුතර හිමිකාරීත්වය, මහ බැංකුව මගින් තහනම් කරන ලද පිරමීඩ ජාවාරම්වල මහමොළකරුවෙකු වන විජය ඊශ්වරන් (Vijay Eswaran) අතට පත්වීමේ මහා මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු සිවිල් බුද්ධි පෙරමුණ විසින් නිරාවරණය කරගෙන තිබේ.
ෆාස්ට් ගේන් හරහා සිදුවූ සූක්ෂම අත්පත් කරගැනීම

සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේ, ‘ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්’ (Fast Gain International Limited) නැමැති සමාගම පෙරටු කරගනිමින් ඒෂියා කැපිටල් හි කොටස්වලින් 71.6% ක දැවැන්ත හිමිකාරීත්වයක් විජය ඊශ්වරන් විසින් අත්පත් කරගෙන ඇති බවයි.
අහිංසක තැන්පත්කරුවන් මුළා කරමින් මුදල් පිටරටට ඇද දැමූ ‘GoldQuest’ සහ ‘QNet’ වැනි නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වල ප්‍රධානියා වන විජය ඊශ්වරන්ට එරෙහිව ඉන්දියාවේ මුම්බායි අධිකරණයකින් රතු වරෙන්තු පවා නිකුත් කර ඇත. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කළ ආයතනයක ප්‍රධානියෙකුට මෙරට ජාතික ආර්ථිකයේ සංවේදී මූල්‍ය ආයතනයක බහුතර කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට ඉඩ සැලසීම බරපතළ සැකසංකා මතුකරන්නකි.
රාජු රාධාගේ මැදිහත්වීම සහ මහ බැංකුවේ ගූඩ නිහඬතාව

මෙම සැකකටයුතු ගනුදෙනුව සහ ඩොලර් මිලියන ගණනක අසූචි මුදල් මෙරටට ගලා ඒම පිටුපස ඒෂියා කැපිටල් හි කළමනාකාර අධ්යක්ෂ රාජු රාධා (Raju Radha) ගේ සෘජු මැදිහත්වීමක් පවතින බවට චෝදනා එල්ල වේ. අන්තර්ජාතික වශයෙන් රතු වරෙන්තු ලබා සිටින පිරමීඩ ජාවාරම්කරුවෙකුගේ අලුගෝසු මුදල් හූරා කෑමට ඉඩ දෙමින් රාජු රාධා සහ එහි කළමනාකාරීත්වය කටයුතු කර ඇත්තේ කාගේ බලපෑමටද යන්න වහා සොයා බැලිය යුතුය.
එසේම, මෙරට මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මෙම දැවැන්ත කළු සල්ලි ජාවාරම හමුවේ මුඛ පූට්ටු කරගෙන සිටීම හෙළා දැකිය යුතුය.
නීතිවිරෝධී පිරමීඩ මුදල් යොදවමින් රටේ ආර්ථිකය අඩපණ කිරීමට දරන මේ උත්සාහය හුදෙක් ආයෝජනයක් නොව, රටේ ආර්ථිකයට එල්ල කළ මාරාන්තික ප්රහාරයකි. මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වහාම ක්‍රියාත්මක වී මෙම ජාවාරමට සම්බන්ධ විජය ඊශ්වරන්, රාජු රාධා ඇතුළු පාර්ශ්වයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු අතර, ඒෂියා කැපිටල් සමාගම මෙවැනි ආර්ථික ඝාතකයන්ගෙන් වහා මුදාගත යුතුව ඇත.



