2016 වසරේ සිදුවූ රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා විභාගය කොළඹ මහාධිකරණයේදී පැවැත්වුණි. එහිදී කරළියට පැමිණි කරුණු සහ පැමිණිල්ල ඉදිරිපත් කළ තර්ක හමුවේ මතුවූ නීතිමය ගැටලු පිළිබඳ කෙරෙන විශේෂ විශ්ලේෂණයකි.

2016 වසරේ රාජගිරියේදී සිදුවූ ප්‍රකට රිය අනතුරින් සංදීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලැබීමේ සිද්ධිය පදනම් කරගනිමින්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
අපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම සහ අනතුර පොලිසියට වාර්තා නොකිරීම යන චෝදනා මත නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම නඩු විභාගය තුළ නීතිමය මෙන්ම පටිපාටිගත ගැටලු රැසක් මතුව තිබේ.
1. වරක් දඬුවම් විඳ අවසන් වූ නඩුවකට යළි අධිචෝදනා?
මෙම සිද්ධියේ ඇති ප්‍රධාන නීතිමය කරුණ වන්නේ, අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ වාහනය ධාවනය කළේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු බව තහවුරු වී තිබීමයි. ඒ අනුව 2017 වසරේදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ රියදුරා වරදකරු කර දඬුවම් නියම කළ අතර, එම දඬුවම් ද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කර ඇත.
එවැනි නීතිමය පදනමක් මත පිහිටා තිබියදී, නැවතත් එම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍යවරයා නීතිමය ක්‍රියාවලියකට ලක්කිරීම මඟින් අධිචෝදනා පත්‍රයේ නෛතික පදනම පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.
2. අධිචෝදනා පත්‍රයේ නෛතික දෝෂ: “ගොඩනැඟිල්ලේ අත්තිවාරමම නීති විරෝධීද?”
පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම අධිචෝදනා පත්‍රයේ අඩංගු චෝදනා නීතියට පටහැනි ලෙස එකිනෙක බද්ධ කර ඇති බවයි.
- නීතිමය පදනම: නඩුවක අරටුව වන්නේ අධිචෝදනා පත්රයයි. අධිචෝදනා පත්‍රය නීති විරෝධී ලෙස සකස් කර ඇත්නම්, ඒ මත පදනම්ව නඩුවක් ඉදිරියට ගෙනයාම අසාධාරණ නඩු විභාගයකට මඟ පාදයි.
- පූර්වාදර්ශ: අතීතයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දී ඇති විනිශ්චයන් අනුව, නීති විරෝධී අධිචෝදනා පත්‍ර මත පැවැත්වූ නඩු විභාගවලදී විත්තිකරුවන් නිදහස් කර ඇත.
මේ හේතුවෙන් අදාළ අධිචෝදනා පත්‍රය පූර්ණ ලෙස නිශ්ප්‍රභ කරන ලෙස විත්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
3. “නඩුව ප්‍රමාද කළේ විත්තිය නෙවෙයි – පැමිණිල්ලයි”
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ විත්තිය මූලික විරෝධතා මතු කරමින් නඩුව ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවයි.
නමුත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සංඛ්‍යාත්මක දත්ත හා දින වකවානු සහිතව එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය:
- විත්තියේ නොපැමිණීම නිසා කිසිදු දිනෙක නඩුව කල් ගොස් නැත.
- වසර 3ක ප්‍රමාදය: මෙම මූලික විරෝධතාව විත්තිය විසින් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළේ 2023 වසරේදීය. නමුත් ඊට පිළිතුරු ලබාදීමට පැමිණිල්ල (නීතිපති දෙපාර්තමේන්තුව) වසර තුනකට ආසන්න කාලයක් මිදෙමින් සිට ඇත.
එබැවින් නඩුව ප්‍රමාද කිරීමේ වගකීම විත්තිය පිට පැටවීම පදනම් විරෝධී බවත්, පැමිණිල්ල විසින් නෛතික මූලික විරෝධතාවලට පිළිතුරු දෙනවා වෙනුවට විත්තිකරු කෙරෙහි අහිතකර චිත්‍රයක් මවා අධිකරණයේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවත් විත්තියේ නීතිඥවරයා චෝදනා කළේය.
ඉදිරියට කුමක් සිදුවේද?
නීතිමය කරුණු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරිපත් වූ දීර්ඝ තර්ක විතර්ක සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණය, මෙම මූලික විරෝධතාවයට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම 2026 අගෝස්තු 03 වන දිනට කල් තබන ලදී.
නීතියට අනුකූල නොවන අධිචෝදනා පත්‍රයක් මත නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද, නැතහොත් මූලික විරෝධතාව පිළිගනිමින් නඩුව නිශ්ප්‍රභ කරන්නේද යන්න අගෝස්තු 03 වැනිදා තීරණය වනු ඇත.



