ප්‍රකට පෞද්ගලික බැංකුවක (NDB) පොදු ලෙජර් ගිණුම හරහා රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නඩුව අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම බැංකුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ විගණන දුර්වලතා දැඩිව ප්‍රශ්න කළේය.

මෙම මූල්‍ය වංචාව හේතුවෙන් සිය බැංකුවට රුපියල් බිලියන 13.9ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවධානය යොමු වූ කරුණු
බැංකුවේ විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැංකුවේ නීතිඥවරයාගෙන් සෘජුවම කරුණු විමසා සිටියේය.
“2023/2024 අවධියේදී බැංකුවේ සිදු කරන ලද විගණන වාර්තා වලින් මෙලෙස බැංකුවෙන් මුදල් ගලා යෑමක් සම්බන්ධයෙන් අනාවරණය වී නැද්ද? බැංකුවේ සිටින පුද්ගලයෙක් විසින් බැංකුවේ පොදු ලේජර් ගිණුමේ තිබෙන මුදල් යම් පාර්ශවයක් විසින් ගෙන වෙනත් ආයෝජනයක් සිදුකර නැවත බැංකුවේ පොදු ලෙජරයේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවාද?”
මෙහිදී නීතිඥවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි කිසිදු අනාවරණයක් සිදුවී නොමැති බවයි. එම පිළිතුරත් සමගම මහේස්ත්‍රාත්වරයා මෙලෙස කරුණු දැක්වීය.
“අවසාන වශයෙන් හුවමාරු වූ බව කියන මිලියන 380 ක මුදල එක දවසේම හුවමාරු වීම සිදුව තිබෙන බව සඳහන් කර තිබෙනවා. එතකොට මීට කලින් මෙසේ විශාල මුදලක් හුවමාරු උනේ නැද්ද? ඒ සම්බන්ධයෙන් ඔඩිට් සයිකල් ක්‍රමයක් තිබුණේ නැද්ද?”
“මොකද ගෙදර අල්මාරියේ සල්ලි අඩුවුණාම සල්ලි භාරව ගෙදර ඉන්න කෙනා දන්නවනේ. බැංකුවේ මුදල් නැති වුණාම ඒ සම්බන්ධයෙන් යොදවා සිටි බැංකු නිලධාරීන් දන්නේ නැද්ද? බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ සල්ලි වැඩි වුනාම ඒ සම්බන්ධයෙන් එන නිලධාරීන් දන්නෙ නැද්ද? මුදල් නැති වුණාම අයිතිකාරයා දැනගන්න ඕන. ඒ ක්‍රියාවලිය තියෙනවා, හැබැයි ඒක බැංකුවේ ක්‍රියාත්මක වෙලා නෑ.”
අධිකරණ තීරණ සහ නඩු ප්‍රගතිය
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
- ඇප ලබා දීම: නඩුවේ පස්වන සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
- මීළඟ නඩු දිනය: නඩුව යළිත් ලබන 10 වැනිදා කැඳවීමට නියමිත අතර, එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශන

විමර්ශනවල ප්‍රගතිය දක්වමින් CID ය අධිකරණයට කරුණු රැසක් අනාවරණය කළේය.
එහිදී මෙම සිද්ධියට අදාළව තවත් ගිණුම් 19ක් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, අවිනිශ්චිත ගිණුම් (Suspense Accounts) හරහා විදේශගත කළ මුදල් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වයි.
එසේම මෙම වංචාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බැංකු නිලධාරීන් පිළිබඳව ද තවදුරටත් විමර්ශනය කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය පසුගිය නඩු දිනයේදී අධිකරණයට දන්වා සිටියේ, අදාළ බැංකුව තුළ සිදුකරන ලද අභ්‍යන්තර හා බාහිර විගණන මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විගණන වාර්තාවලින් ද මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළ ගෙවීම් හා පියවීම් අංශයේ කිසිදු විගණනයක් ඇතුළත් කර නොමැති බවයි.
අධිකරණ වාර්තාකරු – හරිදේශය



