වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම අරමුණු කරගත් සුවිශේෂී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

“සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” (Social Media Minimum Age Bill) ලෙස නම් කර ඇති මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
දරුවන්ගේ මානසික හා සමාජීය සුරක්ෂිතතාව වෙනුවෙන් කාලීන මැදිහත්වීමක් කරමින්, මෙම වටිනා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මූලිකත්වය ගෙන කටයුතු කිරීම කැපී පෙනේ.
පනතේ ප්‍රධාන අරමුණු සහ අන්තර්ගතය

මෙම නව පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන් (මෙම පනත යටතේ ‘දරුවෙකු’ යනු වයස අවුරුදු දහසයට අඩු අයෙකි) අන්තර්ජාලයේ සැරිසැරීමේදී මුහුණ දෙන අවදානම් අවම කිරීමට පියවර ගැනේ.
- අමාත්‍යවරයාට විශේෂ බලතල:
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට අදාළව, අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය ආයතන වෙත නියෝග සහ රෙගුලාසි පැනවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට (ළමා කටයුතු අමාත්‍යවරයාට) හිමිවේ.
- කාල සීමාවන් පැනවීම:
දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි උපරිම කාලය සීමා කිරීමට හෝ ඔවුන්ට භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට ද මෙම පනත මගින් විධිවිධාන සලසා ඇත.
අධීක්ෂණය සඳහා බලයලත් කොමසාරිස්වරයෙක්
මෙම නීතිමය සීමාවන් සහ රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ විශේෂ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට යෝජිතය. පැමිණිලි සහ විරෝධතා භාරගැනීම, විමර්ශන හා පරීක්ෂණ පැවැත්වීම මෙන්ම අවශ්‍ය උපදෙස් හා නියෝග නිකුත් කිරීමේ බලය ද මෙම කොමසාරිස්වරයා වෙත පැවරෙනු ඇත.
- විශේෂ සටහන: මෙම පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් හෝ නොගැලපීමක් මතු වුවහොත්, එහිදී සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද මෙහි සඳහන් වේ.
(ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්ල පහත වේ..)



