විවෘත අධිකරණය හමුවේ චෝදනා 28කට කොන්දේසි විරහිතව වරද පිළිගෙන දඩ ගෙවා තිබියදීත්, එම නඩු තීන්දුව මුල් කරගෙන සත්‍ය වාර්තා කරන මාධ්‍යයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට වක්‍ර තර්ජන එල්ල කරමින් “Bing Chun” සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා නීතිය හෑල්ලු කිරීමට දරන උත්සාහය මේ වන විට දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

නීතිය ඉදිරියේ දණින් වැටී වරද පිළිගෙන, අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි සැණින් “නිල මහජන නිවේදන” හරහා තමන් නිර්දෝෂී බව පෙන්වීමට උත්සාහ කරන “Bing Chun” සමාගමේ නින්දිත උත්සාහය පාරිභෝගික අයිතීන් සම්බන්ධයෙන් බරපතල සංවාදයක් මතු කර ඇත.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පාරිභෝගික ආහාර පනත උල්ලංඝනය කිරීමේ චෝදනා 28කට කොන්දේසි විරහිතව වරද පිළිගෙන රුපියල් 84,000ක දඩ මුදලක් ගෙවූ මෙම සමාගම, දැන් “මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්” යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට උත්සාහ දරන්නේ කෙසේද?
උසාවියේදී “ඔව් ස්වාමීනි” – එළියට ඇවිත් “අපි හරි”?
අධිකරණ ශාලාව තුළදී නීතිය ඉදිරියේ වරද පිළිගත් ආයතනයක්, පසුව මාධ්‍ය නිවේදන මගින් එම තීන්දුවේ බරපතලකම ලඝු කිරීමට උත්සාහ කිරීම පාරිභෝගික ජනතාව අමු අමුවේ නොමඟ යැවීමකි. චෝදනා එකක් හෝ දෙකක් නොව, චෝදනා 28ක් යටතේ වරදකරු වීමෙන්ම පෙනී යන්නේ මෙය හුදු අත්වැරදීමක් නොව, සැලසුම්සහගතව පාරිභෝගිකයා රැවටීමේ ක්‍රියාවලියක් බවයි.
කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් සාක්ෂි සහිතව ඔප්පු කළ වරදක්, මාධ්‍ය නිවේදනයකින් මකා දැමිය හැකි යැයි සිතීම අධිකරණ ක්‍රියාවලිය පවා හෑල්ලුවට ලක් කිරීමකි. සිය නිවේදනයේ “ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිරීති සහ අධිකරණ ක්‍රියාදාමයන්ට පූර්ණ ගෞරවය දක්වයි” යනුවෙන් සඳහන් කළද, අධිකරණ තීන්දුවකට පටහැනිව ජනතාව නොමඟ යවන තර්ක ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ සැබෑ නීතිගරුකභාවය හෙළිදරව් වී තිබේ.
ඇඳුමක දෝෂයක් සහ දරුවන්ගේ කුසට යන ආහාරයක් සමාන කළ හැකිද?
ඇඳුමක හෝ පාවහන් යුවළක පිරිවිතර දෝෂයක් සහ මිනිස් සිරුරට සෘජුවම ඇතුළු වන ආහාරයක ප්‍රමිතිය එක හා සමානව සැලකිය නොහැක. විශේෂයෙන්ම කොළඹ නගරයේ කුඩා දරුවන්, පාසල් සිසුන් සහ තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ‘අයිස්ක්‍රීම්’ වැනි රසකැවිල්ලක ප්‍රමිතිය යනු පාරිභෝගිකයාගේ සෞඛ්‍යය හා සෘජුව බැඳුණු මූලික කොන්දේසියකි.
“විෂ නැහැ” කියමින් වසන් කරන සංයුති වංචාව!
සමාගම සිය නිවේදනයේ “ප්‍රධාන කරුණු පැහැදිලි කිරීම” යටතේ පෙන්වා දීමට උත්සාහ කරන්නේ සිය Vanilla සහ Chocolate Ice Cream නිෂ්පාදනවල ගැටලුව වූයේ “මේද පමාණය (Fat Content) සහ සමස්ත ඝන ද්‍රව්‍ය පමාණය (Total Solids) පිළිබඳ අවශ්‍යතාවලට අනුකූල වීම” පමණක් බවත්, එය “මිනිස් පරිභෝජනයට නුසුදුසු, විෂ සහිත හෝ සෞඛ්‍යයට අනතුරුදායක බවට තීරණය කිරීමකට සමාන නොවේ” යන්නත්ය.
මෙය අමූලික ප්‍රෝඩාවකි! ශ්‍රී ලංකාවේ ආහාර පනත යටතේ යම් නිෂ්පාදනයක් ‘අයිස්ක්‍රීම්’ ලෙස නම් කර අලෙවි කිරීමට නම්, එහි තිබිය යුතු අවම කිරි මේද සහ ඝන ද්‍රව්‍ය ප්‍රමාණය නීතියෙන් නියම කර ඇත. එම සංයුතිය නොමැතිව ජලය, සීනි, කෘත්‍රිම රසකාරක සහ ඝනකාරක මිශ්‍ර කර සාදන බාල මිශ්‍රණයක් ‘අයිස්ක්‍රීම්’ ලෙස හඳුන්වමින් අලෙවි කිරීම යනු:
- පාරිභෝගිකයාගේ මුදල් කොල්ලකමින් ඔවුන්ව මුළා කිරීමකි.
- අහිංසක දරුවන්ට හිමිවිය යුතු නිසි පෝෂණ සංයුතිය අහිමි කිරීමකි.
වැටලීමෙන් පසුවද ප්‍රමිතිය මතක් වුණේ?
සමාගම නිකුත් කළ නිවේදනයේ “අපගේ කැපවීම” යටතේ “නිෂ්පාදන ප්රමිතීන් සහ සංයුති සමාලෝචනය කිරීම”, “තත්ත්ව පාලනය සහ පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම” සහ “නිෂ්පාදන නිවැරදිව නම් කිරීම හා විස්තර කිරීම” සිදු කරන බව ඔවුන් විසින්ම පිළිගෙන තිබේ.
මෙහිදී පැන නගින බරපතලම ප්රශ්නය නම්, විදේශීය සන්නාමයක් ලෙස කොම්පඤ්ඤවීදිය වැනි ජනාකීර්ණ ප්‍රදේශවල අලෙවිසැල් විවෘත කර මහජනතාවට ආහාර අලෙවි කිරීමට පෙර මෙරට ආහාර පනතේ ප්‍රමිතීන්ට අනුකූල වීමට සහ නිෂ්පාදන නිවැරදිව නම් කිරීමට ඔවුන් කටයුතු නොකළේ මන්ද යන්නයි? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අතටම අසුවී උසාවියේදී දඩ කන තුරු ඔවුන් මෙරට නීතිය තඹයකට මායිම් නොකළේ මන්ද?
සත්‍ය වාර්තා කරන මාධ්‍යයට නඩු දමන තර්ජන!
වැරදිකරුවන් වී සිටියදීත්, සමාගමේ කීර්තිනාමයට හානි වන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඇඟවීම් කරමින් මාධ්‍යයට වක්‍ර තර්ජනයක් එල්ල කිරීමටද මෙම පාර්ශ්වයන් උත්සාහ දරා තිබේ. නාගරික රස පරීක්ෂක වාර්තාවක් මත පදනම්ව, විවෘත අධිකරණයේදී වරද පිළිගත් නඩු තීන්දුවක් මහජන යහපත උදෙසා වාර්තා කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීම මාධ්‍ය නිදහසට සහ පාරිභෝගිකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරන බරපතල බලපෑමකි.
තාක්ෂණික වචනවලට මුවා වී පාරිභෝගිකයා තවදුරටත් නොමඟ යැවීම වෙනුවට, නිෂ්පාදන ප්රමිතීන් නිසි පරිදි තහවුරු කිරීමට සමාගම වගබලා ගත යුතු අතර, මෙවැනි විදේශීය සන්නාමයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව නියාමන බලධාරීන් මීට වඩා දැඩි අවධානයකින් පසුවිය යුතු බව පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව දැඩිව අවධාරණය කරති.
– HariDeshaya.lk විශේෂ වාර්තාකරු



