Latest Posts

රු. බිලියන 15.68ක මහා මූල්‍ය පාඩුවක්! බාල ගල් අඟුරු ජාවාරමෙන් ලංවිමට සහ ජාතික ආර්ථිකයට දැවැන්ත විනාශයක්!

විශේෂ විමර්ශන වාර්තාවකි — HariDeshaya.lk

නිල ලේඛන සහ රසායනාගාර වාර්තා මගින් හෙළි වූ 2025/26 ගල් අඟුරු ප්‍රසම්පාදන මගඩියේ සම්පූර්ණ ඇතුළාන්තය මෙන්න…

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත සෘජු මූල්‍ය පාඩුව රුපියල් බිලියන 15.681ක් (රු. 15,681,292,713.00) ඉක්මවා ගොස් ඇති බව බලශක්ති අමාත්‍යාංශය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL), ලංකා ගල් අඟුරු සමාගම සහ ලක්විජය බලාගාරයේ ඉහළ නිලධාරීන් අත්සන් තබා ඇති නිල මූල්‍ය තක්සේරු වාර්තා මගින් තහවුරු වී තිබේ.

පටිපාටි උල්ලංඝනය කිරීම්, නුසුදුසු සමාගම් වෙත ටෙන්ඩර් පිරිනැමීම්, මූල්‍ය සුපරීක්ෂණයකින් තොරව ණයවර ලිපි (LC) විවෘත කිරීම් සහ බාල ගල් අඟුරු නැව් වාර 19ක් දිගින් දිගටම භාරගැනීම හරහා මෙම දැවැන්ත ජාතික අපරාධය සිදුව ඇති බව අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය වේ.

සංඛ්‍යා ලේඛන හෙළි කරන බිහිසුණු ඇත්ත

නිල වාර්තාවලට අනුව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා සිදුවූ රුපියල් බිලියන 15.681ක සෘජු මූල්‍ය හානිය ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ ගණනය කර ඇත:

  • හදිසි විදුලිය මිලදී ගැනීමේ පිරිවැය – රු. බිලියන 8.572 (රු. 8,572,510,000): බලාගාරයේ ධාරිතාව පහත වැටීම නිසා ඇති වූ විදුලි හිඟය පියවීමට අධික මිලකට පිටතින් විදුලිය මිලදී ගැනීමට වැය වූ මුදල.
  • අමතර ගල් අඟුරු පරිභෝජන පාඩුව – රු. බිලියන 7.099 (රු. 7,099,432,713.45): ගල් අඟුරුවල තාප ජනන ශක්තිය (Calorific Value) අඩු වීම නිසා සමාන විදුලි ධාරිතාවක් නිපදවීමට වැඩිපුර ගල් අඟුරු දහනය කිරීමට සිදුවීමෙන් වූ පාඩුව.
  • අමතර නඩත්තු සහ අළු ඉවත් කිරීමේ වියදම් – රු. මිලියන 93.5: බාල ගල් අඟුරු නිසා යන්ත්‍රෝපකරණවලට සිදුවූ හානි වෙනුවෙන් වැය වූ අමතර නඩත්තු පිරිවැය (රු. මිලියන 80.4) සහ අධික අළු ප්‍රමාණය බැහැර කිරීමේ පිරිවැය (රු. මිලියන 13.1). (මෙම සියලු මෙහෙයුම් අමතර පිරිවැය උප එකතුව රු. බිලියන 7.108 ක් ලෙස නිල වාර්තාවල සටහන්ව ඇත).
  • අහිමි වූ විදුලි ජනන ධාරිතාව – මෙගාවොට් පැය 197,673.21: ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ලක්විජය බලාගාරයට අහිමි වූ සමස්ත විදුලි ධාරිතාව.

ජාවාරම ක්‍රියාත්මක වූ හැටි — අදියරෙන් අදියර හෙළිදරව්ව

  1. සැලසුම් ප්‍රතික්ෂේප කිරීම සහ කෘත්‍රිම හිඟයක් ඇති කිරීම: 2025 මාර්තු මාසයේදී ලංකා ගල් අඟුරු සමාගම (LCC) විසින් 2025/2026 කන්නය සඳහා ඉදිරිපත් කළ ප්‍රසම්පාදන සැලැස්ම විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ටෙන්ඩර් කැඳවීම අනවශ්‍ය ලෙස ප්‍රමාද විය.
  2. පටිපාටි උල්ලංඝනය කරමින් ‘ට්‍රයිඩන්ට්’ සමාගමට ටෙන්ඩරය පිරිනැමීම: 2025 අගෝස්තු මාසයේදී ප්‍රමාද වී කැඳවූ ටෙන්ඩරයේ (LCC/25/TT/1 – මෙට්‍රික් ටොන් මිලියන 1.5) නියමිත දින 42ක ලංසු කාලය නීති විරෝධී ලෙස දින 21 දක්වා අඩු කර ඇත. පසුව පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එය දින 28 දක්වා දීර්ඝ කෙරිණි. විගණකාධිපති වාර්තාව මගින් පවා තහවුරු කර ඇති පරිදි, නියමිත දිනට ලියාපදිංචි වී නොතිබූ, අදාළ තැන්පතු නොගෙවූ සහ 5,900 – 6,100 kcal/kg ප්‍රමිතියේ ගල් අඟුරු සැපයීමේ කිසිදු පෙර අත්දැකීමක් නොතිබූ Trident Chemphar Ltd සමාගමට මෙම ටෙන්ඩරය පිරිනමා තිබේ.
  3. රුසියානු සංචාරය, ‘පොටෙන්ෂා’ ගිවිසුම අවලංගු කිරීම සහ වංචනික නියෝජිතයන්: 2025 ඔක්තෝබර් මාසයේදී අමාත්‍යවරයාගේ රුසියානු සංචාරය අතරතුර (ඔක්තෝබර් 15) පූර්ව අනුමැතියකින් තොරව SUEK සමාගම හමුවීමෙන් පසු, ඒ වන විටත් ගල් අඟුරු සපයමින් සිටි Potencia LLC-FZ සමාගමේ අතිරේක තොග සැපයුම (10% Plus Option) ඔක්තෝබර් 24 වන දින අත්හිටුවන ලදී. අනෙක් පසින්, කිසිදු උචිත මූල්‍ය සුපරීක්ෂණයකින් (Due Diligence) තොරව, පසුව වංචනිකයන් බවට හෙළි වූ සරත්චන්ද්‍ර රෙඩ්ඩි (විදේශ) සහ සනත් බණ්ඩාර ජයසුන්දර (දේශීය) යන නියෝජිතයන් හරහා ණයවර ලිපි (LC) විවෘත කිරීමට කටයුතු කර ඇත.
  4. නීතිමය අවස්ථාව තිබියදීත් ගිවිසුම අවලංගු නොකිරීම: ඔක්තෝබර් මාසයේ පැමිණිය යුතු වූ පළමු නැව මාස 3ක් ප්‍රමාද වී 2025 දෙසැම්බර් මාසයේදී පැමිණි අතර, පළමු නැවේ සිටම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව තහවුරු විය. පිටපිට නැව් වාර දෙකක් ප්‍රමිතියෙන් තොර වූ විට ගිවිසුම අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබියදීත් බලධාරීන් එය සිදු නොකිරීම නිසා නැව් වාර 19ක්ම (මෙට්‍රික් ටොන් මිලියන 1.14ක් පමණ) බාල ගල් අඟුරු ගොඩබෑමට ඉඩ සැලසිණි.
  5. $142 බැගින් ගෙනා හදිසි තොගයත් අසාර්ථක වීම: මූලික ගිවිසුමේ මිල ටොන් එකක් ඩොලර් 98.50ක් වෙද්දී, හදිසි පියවරක් ලෙස මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 142 බැගින් අතිරේක නැව් වාර 5ක් (ටොන් 300,000) ගෙන්වීමට කටයුතු කළද, එම තොගයේද ප්‍රමිතිය බිඳවැටී එක් නැවක් සම්පූර්ණයෙන්ම හරවා යැවීමට (Rejected) සිදුවිය.

රසායනාගාර වාර්තා සහ ලක්විජය යන්ත්‍ර බිඳවැටීම

ඕස්ට්‍රේලියාවේ Bureau Veritas International Trade රසායනාගාරය මගින් සිදු කළ පරීක්ෂණ වාර්තා අනුව, ගිවිසුම්ගත 5,900 – 6,100 kcal/kg කැලරි අගය වෙනුවට මෙම නැව්වල අඩංගු වී ඇත්තේ 4,762 සිට 5,426 kcal/kg දක්වා වූ ඉතා පහළ කැලරි අගයකි. (උදාහරණ ලෙස MV Conan නෞකාවේ 4,762 kcal/kg ද, MV Ultra Confidence නෞකාවේ 4,858 kcal/kg ද ලෙස වාර්තා වී ඇත).

මෙම බාල ගල් අඟුරු දහනය කිරීම හේතුවෙන් 2026 ඔක්තෝබර් 17 වන දින ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර, ඉන් අනතුරුව දෙවන ජනන යන්ත්‍රයද බිඳවැටීමට ලක්විය. එම ඔක්තෝබර් බිඳවැටීමෙන් රටට සිදුවූ දැවැන්ත ආර්ථික පාඩුව මෙතෙක් නිසි ලෙස ගණනය කර හෝ නොමැත.

නොපෙනෙන හානිය සහ ඩොලර් මිලියන 54.6ක අයකරගැනීමේ අභියෝගය

රුපියල් බිලියන 15.681ක සෘජු පාඩුවට අමතරව, විදුලි හිඟය පියවීම සඳහා ජල විදුලි බලාගාරවල ජලය අනිසි ලෙස භාවිතා කිරීම නිසා රුපියල් බිලියන 2.2ක අවස්ථික පිරිවැයක් (Opportunity Cost) ද, හදිසි ඩීසල් විදුලි ජනනය සඳහා ගෙවූ අතිරේක ඉන්ධන ගාස්තුද ජනතාව මත පැටවී තිබේ.

මේ වන විට සිදුවූ හානිය පියවා ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 54.686ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 18.116ක) මුදලක් අයකර ගැනීමට ඉලක්ක කර ඇත:

  • දඩ මුදල් (Penalties): ඩොලර් 36,496,000
  • ආරක්ෂිත තැන්පතු (Security Deposits): ඩොලර් 14,446,000
  • ඉදිරියේදී රඳවා ගත යුතු තැන්පතු: ඩොලර් 3,440,000

එසේම, සැපයුම්කරුට ගෙවීමට ඇති මුළු ගිවිසුම් වටිනාකමින් ($111,155,576) 35.90%ක් වන ඩොලර් 39,911,101ක (දඩ මුදල් සහ හිඟ ගෙවීම් එකතුව) මුදලක් මේ වන විට අත්හිටුවා තිබුණද, වංචනික සමාගම් සහ නියෝජිතයන් හරහා සිදුවූ මෙම මහා මූල්‍ය අපරාධයේ සම්පූර්ණ වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් රට හමුවේ ඇති බරපතළම ප්‍රශ්නයයි.

Latest Posts

spot_imgspot_img