නීති පොත්වල අකුරු තඩියට ලියා තිබුණද, මේ රටේ ලක්ෂ 17ක් වන ආබාධ සහිත මිනිසුන් දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන්නේ රාජ්‍යයේ ක්‍රමවේදගත ආබාධිතභාවයටයි. නිදහසින් පසු ගෙවී ගිය වසර 78 පුරාම එකදු පාලකයෙකුට හෝ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නිශ්චිත, පූර්ණ සංගණනයක් පවත්වා ඔවුන්ගේ සැබෑ දත්ත ටික එකතු කරගන්නට කොන්දක් හෝ උනන්දුවක් තිබුණේ නැත. දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ලේකම් චමීර පුබුදු කුමාරගේ හඬින් අද එළියට පනින්නේ රාජ්‍ය බලධාරීන්ගේ එම සාපරාධී නොසැලකිල්ල හමුවේ දිනපතා බැටකන මිනිසුන්ගේ සාධාරණ කෝපයයි.

නිල වාර්තාවල සංඛ්‍යා ලේඛන: දිනපතා විඳවන දුක්ඛදායක යථාර්ථය
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, වයස අවුරුදු පහෙන් ඉහළ ලක්ෂ 17ක ජනගහනයක් අවම වශයෙන් එක් බරපතළ ආබාධයකින් හෝ පීඩා විඳිති. ආබාධිත වර්ගීකරණය මෙසේය:
- ඇවිදීම හෝ පඩි නැගීම නොහැකි පිරිස: 444,969
- පෙනීමේ ආබාධ සහිත පිරිස: 192,578
- තම දෛනික වැඩ තනිව කරගත නොහැකි පිරිස: 189,292
- මතකය හා අවධානය ආශ්රිත ආබාධ සහිත පිරිස: 167,826
- ඇසීමේ ආබාධ සහිත පිරිස: 130,097
- අදහස් හුවමාරු කරගත නොහැකි පිරිස: 112,698
මෙම සංඛ්‍යා යනු කඩදාසිවල ලියැවුණු ඉලක්කම් පමණක් නොවේ. පඩිපෙළක් නැගගත නොහැකිව රජයේ කාර්යාල ඉදිරිපිට අසරණ වන, අන්ධ සැරයටියක් රැගෙන අනාරක්ෂිත පදික වේදිකාවල ජීවිතය පරදුවට තබන, බස් රථයකට හෝ දුම්රියකට ගොඩවීමට නොහැකිව නිවෙස් තුළම හිරවී සිටින ජීවමාන මිනිසුන් ලක්ෂ ගණනකගේ ඛේදවාචකයයි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දී අවසන්ය. චක්‍රලේඛ ගොඩගසා හමාරය. එහෙත් පොදු ගොඩනැගිලි, රැකියා ස්ථාන හා ප්‍රවාහන පද්ධතිය තවමත් ක්‍රියාත්මක වන්නේ ආබාධ සහිත පුරවැසියන් නොසලකා හරිමිනි.
මිලියන 1,000ක ලොලිපොප් එකෙන් මේ අගාධය වැසිය හැකිද?
2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෝහල්, උසාවි, දුම්රිය සහ පාසල් ඇතුළු ස්ථාන 161ක ප්‍රවේශ පහසුකම් හදන බවට සමාජ සේවා ඇමති උපාලි පන්නිලගේ පුරසාරම් දොඩයි. 2027ටත් මුදල් වෙන් කරන බව කියයි.
නමුත් අසන්නට ඇති සෘජු ප්රශ්නය මෙයයි:
- මුළු රට පුරාම පොදු ස්ථාන ඇත්තේ 161ක් පමණක්ද?
- සැබෑ තොරතුරු සහ ආබාධිතයන් සිටින ප්‍රදේශ පිළිබඳ නිශ්චිත දත්ත පද්ධතියක් නැතිව මේ මුදල් විසි කරන්නේ කාගේ උවමනාවටද?
- වසර ගණනාවක් තිස්සේ මිලියන ගණනින් මුදල් වෙන් කරමින් හැදූ රෑම්ප් (Ramps) අදටත් කරත්ත තල්ලු කරන්නවත් බැරි අන්දමට බිඳී වැටී තිබියදී, මේ අලුත් ව්‍යාපෘතිය තවත් එක් ටෙන්ඩර් නාඩගමක් පමණක් නොවේ යැයි කාට සහතික විය හැකිද?
ආබාධිතයන් යනු පාලකයන්ගේ මැතිවරණ වේදිකාවල අනුකම්පාව හිඟාකන පිරිසක් නොවේ; මේ රටේ සම අයිතිවාසිකම් ඇති පුරවැසියන්ය. නිසි සංගණනයක් කර ඔවුන්ගේ සැබෑ සංඛ්‍යාව සහ අවශ්‍යතා නිශ්චිතව හඳුනා නොගෙන, ප්‍රතිපාදන කෑලි විසිකිරීමෙන් ආබාධිත ප්‍රජාව තවදුරටත් රවටන්නට ඉඩ දිය නොහැකිය. පාලකයන් වහාම කළ යුත්තේ කඩදාසි තීන්දු නවත්වා, ක්ෂේත්රයේ ප්‍රවේශ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කිරීමයි.



