Latest Posts

ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික නායක හමුව සමග APEC නායක සමුළුව පැවැත්වීමට චීනයේ Shenzhen නගරය සූදානමින්

33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව එළඹෙන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වේ. මෙම සමුළුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව, 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණ.

මෙම සූදානම් කිරීමේ කාර්යයේදී Guangdong පළාතේ සුවිශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, හරිත බලගැන්වීම අවධාරණය කර ඇති අතර, පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබේ. එසේම පරිශ්‍ර අලංකරණය, කලාත්මක ප්‍රසංග සහ ආහාර සැපයුම් සේවා ඇතුළු උත්සවයේ විවිධ අංශ, කැපී පෙනෙන සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සමග ඒකාබද්ධ කර තිබේ. තවද, පිළිගැනීමේ සේවා සහ නගරයේ සංචාර ඇතුළු සියලුම අංශවලට කෘත්‍රිම බුද්ධිය වැනි ඩිජිටල් තාක්ෂණයන් ඇතුළත් කර ඇති බව ද මාධ්‍ය හමුවේදී සඳහන් විය.

මේ අතර, 2026 APEC කාර්මික හා ව්‍යාපාරික නායකයන්ගේ සමුළුව එම දෙදින තුළ Shenzhen නගරයේ Qianhai ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු APEC ආර්ථික ඒකක 12ක නායකයන් ඊට එක් වෙමින් දේශන පැවැත්වීමට සහ සාකච්ඡාවලට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ෆෝචූන් ග්ලෝබල්හි ලැයිස්තුගත කළ සමාගම් 500ට අයත් නියෝජිතයින් 115දෙනෙකු ද මෙම සමුළුවට සහභාගි වීමට නියමිතයි.

33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුවේ ප්‍රධාන තේමාව වනුයේ ‘හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’යන්නයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඔහු දේශනයක් ද සිදු කරනු ඇත. එමෙන්ම ෂී ජින්පිං මහතා විවිධ ආර්ථිකයන්හි නායකයන් හෝ නියෝජිතයන් වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වන අතර, විදේශී රටවල නායකයන් සමග එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.

2026 APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය Shenzhen සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ අංක 2 ශාලාවේ පිහිටා ඇති අතර, එහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් 15000කි. සමුළුව වාර්තාකරණයට එක්වන දෙස් විදෙස් මාධ්‍යවේදීන් 5000කට ආසන්න පිරිසක් සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම, ප්‍රවෘත්ති නිකුත් කිරීම, කෘත්‍රිම බුද්ධිය පාදක කරගනිමින් වාර්තා සැකසීම ඇතුළු සේවා සැපයීමට මාධ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් සලසා ඇත.

මේ අතර මෙම සමුළුවට‍ සමගාමීව චීන-රුසියා-ඇමරිකා නායකයින්ගේ ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ. එහිදී වත්මන් ගෝලීය ගැටලු සම්බන්ධව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අතර සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් ද යොමුව තිබේ.

මේ අතර, 2026 APEC ‘චීන වසර’වෙනුවෙන් සංවිධාන කළ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ අවසන් රැස්වීම Shenzhen නගරයේදී නිමාවට පත්විය. වසරක කාලයක් තුළ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් ඇතුළු විවිධ රැස්වීම් හා ක්‍රියාකාරකම් 300කට වැඩි ප්‍රමාණයක් චීනය සාර්ථකව මෙහෙයවා ඇති අතර, එය එළඹෙන නායක සමුළුව සඳහා ස්ථිර පදනමක් සකසා ඇත. චීන විදේශ අමාත්‍යාංශය පවසන පරිදි, සියලු පාර්ශ්ව අතර පොදු එකඟතාවක් ගොඩනඟා ගනිමින් APEC නායකයන්ගේ Shenzhen ප්‍රකාශනය සම්මත කරගැනීම ද චීනය බලාපොරොත්තුවයි.

දිනූෂි ධීරසිංහ
CGTN සිංහල සේවය
බෙයිජිං

Latest Posts

spot_imgspot_img