කොළඹ අතිශය ප්රභූ කලාපයක් වන කුරුඳුවත්ත හෙවත් කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි අතිශය වටිනා පර්චස් 70කට අධික සුවිසල් ඉඩමකට කූඨ ලේඛන සකසා ප්රසිද්ධ සමාගමකට කුණු කොල්ලයට විකිණීමේ මහ පරිමාණ ඉඩම් මංකොල්ලයකට තිරය පිටුපස සිට මූල්ය ශක්තිය සැපයූ නුගේගොඩ ප්රසිද්ධ වාහන ව්යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ පදිංචි ශාන්ත විතාන ගමගේ නමැති ව්යාපාරිකයායි. ප්රකට මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයින් ප්රධාන සැකකරුවන් ලෙස නම් කර ඇති මෙම මහා පරිමාණ ඉඩම් වංචාවේ මූල්ය මොළකරු මෙන්ම තිරය පිටුපස සිට නඩු හබවලට සල්ලි විසි කළ ප්රධාන ආයෝජකයා වන්නේ මොහු බව අනාවරණය වී ඇත. සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස්. බෝදරගම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
නීතිඥයෙකු ඉදිරියේ ගැසූ රහස් ගිවිසුම සහ දිසා අධිකරණ නඩුව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දක්වමින් අනාවරණය කළේ, සැකකාර ව්යාපාරිකයා නීතිඥවරයෙකු ඉදිරියේ ප්රධාන සැකකරුවන් සමඟ විශේෂ රහස් ගිවිසුමකට එළඹ ඇති බවයි. බාන්ස් පෙදෙසේ ඉඩමට අදාළ හොර ඔප්පුව සැකසීමට මෙන්ම, එය නිරවුල් කරගැනීම සඳහා දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව ඉදිරියට ගෙන යාමට ඇටෝනි බලකරු ලෙස අවශ්ය සියලු මුදල් පොම්ප කර ඇත්තේ මොහු විසිනි.
ව්යාජ ලේඛන හදා ඉඩම සමාගමකට විකිණීමේ මෙම අසංවර මංකොල්ලය පිටුපස සිටි සැකකරුගේ බැංකු ගිණුම්වලට රුපියල් ලක්ෂ 210ක්, ලක්ෂ 100ක් සහ තවත් රුපියල් ලක්ෂ 45ක් වශයෙන් අවස්ථා කිහිපයකදී කෝටි ගණනින් මුදල් ගලා ආ ආකාරය CID විමර්ශන නිලධාරීන් විසින් සාක්ෂි සහිතව අධිකරණයට හෙළිදරව් කරනු ලැබීය.
සුපිරි වාහන 7ක් සහ කෝටි 5.6ක කළු සල්ලි ගිණුම
ඉඩම විකිණීමේ ජාවාරමෙන් පසු සැකකාර ව්යාපාරිකයා අතට සුඛෝපභෝගී වාහන හතක් ලැබී ඇති අතර, ඉන් සුපිරි ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයක් ආයතනයකට කුලී පදනම මතද, තවත් වාහනයක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්යවරයෙකු වෙත කුලී පදනම මතද ලබා දී තිබේ. අනෙක් සුපිරි වාහන පහෙන් තුනක් සැකකාර සමන් ජයවීරටත්, දෙකක් ඩෙස්මන්ඩ් අමරසිංහටත් ලබා දී ජාවාරමේ කොටස් බෙදාගෙන ඇති බව අනාවරණය විය.
ඊට අමතරව සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමක සඟවා තිබූ රුපියල් ලක්ෂ 565ක (කෝටි 5.6කට අධික) මුදලක් වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා ලෙස CID නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ජාලගතව සිදු වූ මෙම දැවැන්ත මූල්ය අපරාධය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුට ඇප ලබාදීමට දැඩි විරෝධය පළ කළේය.
විත්තියේ මගහැරීමේ උත්සාහය සහ මහේස්ත්රාත්වරයාගේ නියෝගය
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් රත්නායක මහතා තර්ක කළේ, තම සේවාදායකයා සාමාන්ය ව්යාපාරිකයෙකු පමණක් බවත්, ඔහු කළේ ව්යාපාරික ආයෝජනයක් මිස හොර ඔප්පු සැකසීම ගැන නොදන්නා බවත්ය. එසේම 2023 දී ඉදිරිපත් වූ පැමිණිල්ලක් නිහඬව තිබී වසර කිහිපයකට පසු හදිසියේ කරළියට ගෙන ඒම පිටුපස සැඟවුණු අරමුණක් ඇති බව පවසමින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු හා ලේඛනමය සාක්ෂි සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා, විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුගේ අදාළ බැංකු ගිණුම් වහාම අත්හිටුවීමට නියෝග කළේය. සැකකාර ව්යාපාරිකයා ලබන නොවැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා, මෙම මහා ඉඩම් මංකොල්ලයේ සියලු පාර්ශ්වයන් කොටු කරගනිමින් විමර්ශන ප්රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



