Latest Posts

නඩු වැඩිවීම පොලිසියේ අකාර්යක්ෂමතාවයි: සංඛ්‍යාලේඛන මායාව හෙළි කරමින් පොලිස්පතිට එරෙහිව ගත් ඓතිහාසික පියවර

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සිය ‘මාසික නඩු ඉලක්ක’ (targets) සපුරා ගැනීම වෙනුවෙන් අහිංසක පුරවැසියන් බිල්ලට ගැනීමේ සහ අධිකරණ නියෝග උපක්‍රමශීලීව මඟහැරීමේ නීතිවිරෝධී පිළිවෙත ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි නෛතික විනිශ්චයකට ලක්විය. අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකර, අධිකරණය නොමඟ යැවීමට (‘ඇන්දවීමට’) උත්සාහ කළ බවට තීන්දු කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

පසුගිය ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වූ කරුණු හුදෙක් එක් නඩුවකට සීමා වූ තනි සිදුවීමක් නොව, සමස්ත පොලිස් යාන්ත්‍රණය පුරා මුල් බැසගෙන ඇති නීතිමය දුරාචාරය සහ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම මැනවින් විදහා දක්වයි.

එකම සිද්ධියට නඩු දෙකක්: ‘ටාගට්’ පිරවීමේ නරුම ක්‍රියාවලිය

මෙම නෛතික ගැටුමේ ආරම්භය සනිටුහන් වන්නේ ගම්පහ, දෙවලපොළ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුරවැසියාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශය ගොනු කළ අංක 1743 සහ 1744 දරන නඩු දෙකය. 2026 මැයි 06 දින අස්ගිරිය මංසන්ධියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බව පවසමින් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් එකම පුද්ගලයාට එරෙහිව එකම දිනයේ නඩු දෙකක් ගොනු කර තිබිණි.

විත්තිකරු එක් නඩුවකට වරද පිළිගෙන දඩ නියම වීමෙන් අනතුරුව, සුළු මොහොතකින් දෙවන නඩුවද කැඳවීමත් සමඟ පොලිසියේ අභිප්‍රාය අධිකරණය හමුවේ හෙළිදරව් විය. විත්තිකරු පිට පිට වරදකරු කරවීම සඳහා එකම වැටලීමක් කෘත්‍රිමව දෙකට කඩා නඩු ගොනු කර තිබූ බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙලෙස පුරවැසියන් පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (1) වගන්තිය යටතේ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර නොගත යුත්තේ මන්දැයි විමසීමට නියෝග කළේය.

තමන් අතින් වරදක් වූ බව පිළිගනිමින් එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය තරයේ ප්‍රතික්ෂේප කළේ, මෙය චෝදනා වැරදීමක් නොව පුරවැසියෙකු සාහසික ලෙස කොටු කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් බව නිරීක්ෂණය කරමිනි.

රස පරීක්ෂක වාර්තා සහ පොලිසියේ සංඛ්‍යාලේඛන ‘මායාව’

මෙහිදී අධිකරණය විසින් මතු කරන ලද කරුණු පොලිස් විමර්ශනවල පවතින ගැඹුරු අර්බුදය නිරාවරණය කරයි:

  • මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් විකෘති කිරීම: පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවල අඩංගු සැබෑ ප්‍රමාණයන් අතර විශාල පරතරයක් පවතින බවත්, ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවන බවත් රස පරීක්ෂක වාර්තා සාක්ෂි දරයි.
  • අන්තරාදායක ඖෂධ පනත අවභාවිතය: ඇතැම් අවස්ථාවල අධිකරණයේ ඇප ලබාදීමේ අභිමතය අභියෝගයට ලක් කරමින් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමේ උපක්‍රමයක් ලෙස පොලිසිය විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතේ 54 වන වගන්තිය අයථා ලෙස භාවිත කරන බව අධිකරණය නිරීක්ෂණය කළේය.
  • අකාර්යක්ෂමතාව වසාගන්නා සංඛ්‍යාලේඛන: එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු ප්‍රමාණය වැඩිකර පෙන්වීම නිලධාරීන්ගේ ප්‍රගතිය මනින මිම්මක් බවට පත්කරගෙන ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා, අපරාධ මර්දනය සැබවින්ම සිදුවන්නේ නම් ප්‍රදේශයක නඩු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය යුතු බවත්, නඩු වැඩිවීම යනු පොලිසියේ අකාර්යක්ෂමතාව බවත් දැඩිව අවධාරණය කළේය.
    මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ විත්තිකරුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවීමට අදාළ පොලිස් සාක්ෂිකරුවන්ට නියම වූ අතර, නිස්සාර නඩු වෙනුවෙන් පොලිස් තෑගි අරමුදලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

“බල්ලගේ වැඩේ බූරුවාට පැවරීම”: අධිකරණයට අපහාස කිරීමේ වරද

මෙම තත්ත්වය සමස්ත දිවයින පුරා සිදුවීම වැළැක්වීම සඳහා, “අහිංසක පුරවැසියන්ට එරෙහිව මෙලෙස පදනම් විරහිත සහ නිස්සාරණ නඩු නොපවරන ලෙසට” සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර පොලිස්පතිවරයාට නියෝග කර මාස පහකට ආසන්න කාලයක් ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, ඔක්තෝබර් 21 වැනිදා පොලිස් නීති කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළේ පොලිස්පති චක්‍රලේඛයක් නොව, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) විසින් නිකුත් කරන ලද ප්‍රාදේශීය මාර්ගෝපදේශ මාලාවකි.

එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, “මේක මාව අන්දවන්න කරන දෙයක්” යැයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කරමින්, අධිකරණ නියෝගය දී තිබුණේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට වුවත්, පළාත් මට්ටමේ ලිපියක් ඉදිරිපත් කිරීම අධිකරණ නියෝගය පැහැර හැරීමක් සහ ‘බල්ලගේ වැඩේ බූරුවාට පැවරීමක්’ බඳු උපක්‍රමශීලී රැවටීමක් බව පෙන්වා දුන්නේය. අධිකරණ නියෝගයක් පවා කල් අදිමින් හෑල්ලුවට ලක්කිරීම තුළින් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බව නිගමනය කළ මහේස්ත්‍රාත්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම පිණිස ලිපිගොනු අභියාචනාධිකරණයට යොමු කළේය.

‘Functus Officio’ නෛතික මූලධර්මය සහ ඔක්තෝබර් 22 නීතිමය පරාජය

පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමේ තීන්දුවත් සමඟ දැඩි කලබලයට පත් පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 22 වන දින විශේෂ මෝසමක් මගින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සමස්ත දිවයිනම ආවරණය වන චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නැවත වරක් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි. එනම්, තමන් පැහැර හරින ලද නියෝගය නැවත ලබාගෙන අධිකරණයට අපහාස කිරීමේ වරදින් නිදහස් වීමට නෛතික සිදුරක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ උත්සාහය විය.

එහෙත් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඓතිහාසික ‘ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එදිරිව නීතිපති’ නඩු තීන්දුව පූර්වාදර්ශයට ගනිමින් පැහැදිලි නෛතික ස්ථාවරයක් ප්‍රකාශ කළේය:

  • විනිශ්චයකාරවරයෙකු විසින් යම් නීතිමය කරුණක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කළ පසු, එම තීන්දුව නැවත වෙනස් කිරීමට හෝ එකී කරුණ සම්බන්ධයෙන් නැවත නියෝග නිකුත් කිරීමට එකී විනිශ්චයකාරවරයාටම බලයක් නොමැත (Functus Officio මූලධර්මය).
  • අදාළ නියෝගය දැනටමත් ප්‍රකාශයට පත්කර අවසන් බැවින්, පොලිසිය ඉල්ලා සිටින ආකාරයේ නව නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනිය.

ඒ අනුව, පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට අදාළ සම්පූර්ණ නඩු ගොනුවේ පිටපතක් පමණක් පොලිස් නීති කොට්ඨාසයට මුදාහැරීමට නියම කරමින් මහේස්ත්‍රාත්වරයා පොලිසියේ අවසන් උත්සාහයද ව්‍යර්ථ කළේය.

නීතියේ ආධිපත්‍යය හමුවේ විධායක නිලධාරීන්ගේ වගවීම

මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට එල්ල වූ ප්‍රබල අනතුරු ඇඟවීමකි. පොලිස් නිලධාරීන්ගේ කාර්යසාධනය මනිනු ලබන්නේ පුරවැසියන් දඩයම් කර ගොනු කරනු ලබන ව්‍යාජ නඩු ප්‍රමාණයෙන් නොව, අපරාධ නිවාරණයෙන් බව අධිකරණය පෙන්වා දී ඇත. එසේම, විධායකයේ ඉහළම නිලධාරියා වුවද අධිකරණ නියෝග නොසලකා හරිමින්, තාක්ෂණික උපක්‍රම මගින් අධිකරණය රැවටීමට උත්සාහ කරන්නේ නම්, නීතියේ ආධිපත්‍යය හමුවේ ඔවුන්ට නඩු විත්තිකරුවන් ලෙස පෙනී සිටීමට සිදුවන බව ගම්පහ මහේස්ත්‍රාත්වරයාගේ මෙම ඓතිහාසික පියවර මගින් යළිත් තහවුරු කර තිබේ.

Latest Posts

spot_imgspot_img