වීඩියෝ දර්ශන වැඩිහිටියන් 14 දෙනෙකුගේ දුරකථනවලටත් ගිහින්: ආයතන සංග්‍රහයත් උල්ලංඝනය කරමින් අම්බලන්තොට තේරපුත්ථ ජාතික පාසලේ බිහිසුණු අපරාධය යටගැසූ කුමන්ත්‍රණය මෙන්න!
HariDeshayaLk විශේෂ ගවේෂණාත්මක වාර්තාවකි
සිසු සිසුවියන් 2,600කට අධික පිරිසකගේ අනාගතය භාරව සිටින අම්බලන්තොට තේරපුත්ථ ජාතික පාසල තුළ සිදු වූ බාලවයස්කාර සිසුවියකට එරෙහි බරපතල ලිංගික අපයෝජන සිද්ධියක් සිදුවී මාස හයකට අධික කාලයක් ගතවී ඇතත්, ඊට අදාළ නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව බරපතල සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම අපරාධය වසන් කිරීමට පාසල් පාලනාධිකාරිය දැරූ උත්සාහයන් සහ විමර්ශන ක්‍රියාවලියේ පවතින බරපතල හිඩැස් පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය (United Human Rights Organization) විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිස්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති ලිඛිත සාක්ෂි සහ HariDeshayaLk සතුව පවතින සුවිශේෂී වීඩියෝ සාක්ෂි මගින් මෙම සිදුවීමේ බිහිසුණු පැතිකඩ මේ වන විටත් තහවුරු වී ඇත.
සිද්ධියේ පසුබිම සහ වීඩියෝ සාක්ෂිවලින් තහවුරු වන යථාර්ථය
2026 මැයි 21 වැනිදා කලාප වොලිබෝල් ක්‍රීඩා තරග පැවැත්වූ දිනයේදී, පාසල් කාලය තුළ අම්බලන්තොට තේරපුත්ථ ජාතික පාසල් පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් අසල එළිමහනේ මෙම අපරාධය සිදුව තිබේ. සිද්ධියට අදාළව HariDeshayaLk සතුව පවතින වීඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මෙය හුදෙක් අහම්බයක් නොව ඉතා සැලසුම්සහගත ක්‍රියාවක් බවයි:
- පාසල් නිල ඇඳුමින් සිටියදීම අපයෝජනයට: වයස අවුරුදු 14යි මාස 8ක් වූ වින්දිත දැරිය සුදු පැහැති පාසල් නිල ඇඳුමින් සැරසී සිටියදීම, පාසල් ගොඩනැගිල්ලක පිටත කොරිඩෝවක් වැනි එළිමහන් ස්ථානයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්වන අයුරු එම දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇත.
- තවත් පිරිසක් බලා සිටියදී වීඩියෝ ගත කිරීම: අපයෝජනය සිදුවන අවස්ථාවේ තවත් පිරිසක් ඒ අසල රැඳී සිටිමින්, සැකකරුගේ මුහුණ පවා පැහැදිලිව හඳුනාගත හැකි වන පරිදි ඉතා සමීපව මෙම සිදුවීම ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබේ.
- වැඩිහිටියන් 14 දෙනෙකුගේ දුරකථනවලට ගිය වීඩියෝව: සමාජ මාධ්‍ය වෙතද මුදා හැර ඇති මෙම වීඩියෝ දර්ශන, තේරපුත්ථ ජාතික පාසලේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිනිය ඇතුළු වැඩිහිටියන් 14 දෙනෙකුගේ පුද්ගලික ජංගම දුරකථනවල තිබී ඇති බවට අම්බලන්තොට පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අපරාධය වසන් කර වින්දිත දැරිය පාසලෙන් නෙරපීම
සිසුන් 2,600කට අධික පිරිසක් ඉගෙනුම ලබන මෙම ජාතික පාසලේ පාලනාධිකාරිය සිද්ධිය දැනගත් පසු ක්‍රියා කර ඇති ආකාරය අතිශය පිළිකුල්සහගත බව එක්සත් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි:
- දැරියගේ අධ්‍යාපනය අහිමි කිරීම: නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට විදුහල්පතිවරයා විසින් වින්දිත දැරියගේ පාසල් ගමන නතර කර ඇති අතර, සිය කැමැත්තෙන් දියණිය පාසලෙන් ඉවත් කරගත් බව පිළිගන්නා ලෙස දැරියගේ මවට බලපෑම් කර තිබේ.
- හඬ නැගූ ගුරුවරුන්ට තර්ජන: මෙම අපරාධය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට උත්සාහ කළ ගුරුවරුන්ට පරිපාලනමය බලපෑම්, පළිගැනීම් සහ තර්ජන එල්ල කරමින් ඔවුන් නිහඬ කිරීමට විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිනිය කටයුතු කර ඇත.
- සැකකරුගේ පසුබිම: අපයෝජනය සිදු කළ වයස අවුරුදු 16ක් පමණ වන තරුණයා මීට පෙර තේරපුත්ථ ජාතික පාසලේම ගුරුවරයෙකුගේ දියණියකට ලිංගික අතවරයක් කිරීම නිසා පාසලෙන් ඉවත් කරන ලද අයෙකු බවත්, ඔහු විදුහල්පතිවරයාගේ පුත්‍රයාගේ සමීප මිතුරෙකු බවත් හෙළි වී තිබේ.
පොලිස් විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියේ බරපතල හිඩැස්
2026 ජුනි 19 වැනිදා අම්බලන්තොට පොලීසිය විසින් තේරපුත්ථ ජාතික පාසලේ විදුහල්පති නිෂාන්ත ලියනගේ, නියෝජ්‍ය විදුහල්පතිනි වසන්තා අබේවර්ධන සහ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට (නඩු අංක B 4411/26) ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරිණි. කෙසේ වෙතත්, එක්සත් මානව හිමිකම් සංවිධානයේ සභාපති නීතීඥ එච්. ඒ. අමරසේන මහතා විසින් 2026.09.24 දිනැතිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමු කළ ලිපිය මගින් විමර්ශනවල පවතින බරපතල අඩුපාඩු කිහිපයක් ප්‍රශ්න කර තිබේ:
- ස්ත්‍රී දූෂණ වෛද්‍ය වාර්තාව සැඟවීම: වෛද්‍ය වාර්තාවට අනුව වින්දිත දැරිය “ස්ත්‍රී දූෂණයකට” ලක්ව ඇති බවට සටහන්ව තිබුණද, සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ “තදබල ලිංගික අපයෝජනය” යන චෝදනාව යටතේ පමණි. එම වෛද්‍ය වාර්තාව පිළිබඳව පොලීසිය මේ වන තුරුත් අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවට චෝදනා එල්ල වේ.
- දුරකථන 14 රස පරීක්ෂක වෙත නොයැවීම: වීඩියෝ දර්ශන තිබූ වැඩිහිටියන් 14 දෙනාගේ ජංගම දුරකථන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විමර්ශනය කිරීම පැහැර හැර ඇති බව වාර්තා වේ. මෙම දැරිය යොදවා යම් පිරිසක් ලිංගික ක්‍රියා වීඩියෝ ගත කරවන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේද යන සාධාරණ සැකයද මේ සමඟ මතුව තිබේ.
ආයතන සංග්‍රහය බල්ලාට දමා තවමත් පුටුවල!
රාජ්‍ය සේවයේ උත්තරීතර නීති සංග්‍රහය වන ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII (48) වැනි පරිච්ඡේදයේ 27:10 වගන්තියට අනුව, රජයේ නිලධාරියෙකුට එරෙහිව සාපරාධී වරදක් සම්බන්ධයෙන් අධිකරණයක නඩු පවරනු ලැබූ වහාම අදාළ බලධරයා විසින් ඔහුගේ සේවය වහාම තහනම් (Interdict) කළ යුතුය.
එමෙන්ම මෙම විදුහල්පතිවරයා 2025 නොවැම්බර් මාසයේදී උසස් පෙළ සිසුවෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීම (මැහුම් 14ක් දැමීමට සිදුවූ) සහ රෝහල්ගත නොකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද (නඩු අංක B 7737/25) ඇප මත සිටින අයෙකි.
මෙවැනි බරපතල චෝදනා දෙකක් යටතේ අධිකරණය හමුවේ ඇප මත සිටින විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක ආයතන සංග්‍රහය පවා උල්ලංඝනය කරමින් තවදුරටත් දරුවන් 2,600කගේ පාසලක පාලන බලය හෙබවීමට අධ්‍යාපන බලධාරීන් ඉඩ දී තිබෙන්නේ කාගේ වුවමනාවකටද යන්න බරපතල ප්රශ්නයකි.
බලධාරීන්ගේ නිහඬතාවය බිඳිය යුතුයි
මෙම සිදුවීම යටපත් කිරීමට ඇතැම් පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටින පසුබිමක, වහාම අදාළ විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිනියගේ සේවය අත්හිටුවා, විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වින්දිත දැරියට සාධාරණය ඉටු කරන ලෙස සිවිල් සංවිධාන සහ දෙමාපියන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.



