Latest Posts

පොලිස් කූඩුවේ මරණ ගැන පොලිස්පති නිහඬයි: පුරවැසි සංවිධානයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මියයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දක්වන උදාසීන පිළිවෙත පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘පුරවැසි සංවිධානය’ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රී රවීන්ද්‍රන් නිශ්ශංක මහතා විසින් ඊයේ (03) දින මානව හිමිකම් කොමිසම වෙත මෙම පැමිණිල්ල භාරදුන් අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.

වසර පහකදී සැකකරුවන් 50ක් මරුට

පසුගිය වසර පහක කාලය තුළ විවිධ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් 50කට ආසන්න පිරිසක් පොලිස් පරිශ්‍ර තුළදී අභිරහස් ලෙස මියගොස් ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව මෑතකදී හෙළිදරව් කර තිබුණි. පොලිස් නිලධාරීන්ගේ අමානුෂික වධහිංසා සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම මෙම මරණවලට ප්‍රධාන හේතුව බවට නිරීක්ෂණය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙවැනි අත්අඩංගුවේ මරණ වළක්වා ගැනීමට මානව හිමිකම් කොමිසම මගින් ලබාදුන් කිසිදු නිර්දේශයක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ක්‍රියාත්මක කර නොමැති බවට පුරවැසි සංවිධානය චෝදනා කරයි.

හෝමාගම සිදුවීම පිටුපස ඇති අර්බුදය

මෙම නොසැලකිලිමත් භාවයේ ආසන්නතම ප්‍රතිඵලය හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළදී සැකකරුවෙකු මියයාම බව පෙන්වා දෙන එම සංවිධානය, අදාළ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව නිකුත් වීමටත් පෙර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මාධ්‍ය හමුවක් කැඳවා “සැකකරුට දින තුනකට පෙර පිරිසක් පහරදී තිබූ බව” ප්‍රකාශ කිරීම සැකසහිත බවද සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව මේ වන විට හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපති, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති සහ සිරමැදිරිය භාර නිලධාරියාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

හිතවත්කම් මත දුන් උසස්වීම් සහ දේශපාලන ඇඟිලි ගැසීම්

හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කර සිටි නිලධාරියා මීට පෙර ‘බී’ ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන වනාතවිල්ලුව පොලිසියේ සේවය කළ අයෙකු බවත්, ඔහු වත්මන් පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිතවත්කම මත හෝමාගම වැනි ප්‍රධාන පොලිස් ස්ථානයකට අනියුක්ත කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ නිලධාරියාට පරිපාලන කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොහැකි බව පවසමින් හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතා විසින් මීට මාස අටකට පෙර එම නිලධාරියා ස්ථාන මාරු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද, පොලිස්පතිවරයා ඊට කිසිදු පියවරක් ගෙන නොතිබූ බවට පුරවැසි සංවිධානය කරුණු අනාවරණය කරයි.

වත්මන් පොලිස්පතිවරයා වෘත්තීය ගරුත්වය පසෙකලා දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉටුකරමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ගේද මතය වී ඇති බව පෙන්වා දෙන පුරවැසි සංවිධානය, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත්, හෝමාගම පොලිසියේදී මියගිය සැකකරුට සාධාරණය ඉටුකිරීමට මැදිහත් වන ලෙසත් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Latest Posts

spot_imgspot_img