හොරණ මහජන බැංකු ශාඛාවකින් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) සහ වෙනත් ශාඛා සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනහමාරක (මිලියන 35ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය. එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිස් විමර්ශන අංශ සඳහන් කළේ, කොල්ලකෑම බාහිර පුද්ගලයෙකුගේ කොල්ලකෑමක් නොව, අදාළ බැංකුවේම නිලධාරීන්ගේ සැලසුමක් බවයි පසුව පොලිසිය සිද්ධියට සම්බන්ධ බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය විසින් ඊයේ (11) දින නියෝගය නිකුත් කරන ලදී.
එමෙන්ම, සැකකරුට අයත් යතුරුපැදිය අධිකරණ නියෝගය අනුව භාරදීමට කටයුතු කරන ලෙසත්, සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් පෙන්වා දුන්නේ, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රධාන සැකකරු වන බැංකුවේ සහකාර කළමනාකරු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු සිද්ධියට සම්බන්ධ නොවන බව පවසමින් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සිදුවීම සහ සැලසුම

පසුගිය 03 වැනි දා පස්වරු 2.45ත් 2.55ත් අතර කාලය තුළදී අදාළ බැංකුවේ සහකාර කළමනාකරු විසින් රුපියල් පන්දහසේ නෝට්ටු වශයෙන් බැංකු ලාංඡනය සහිත ලා ක්‍රීම් පැහැති රෙදි මලු දෙකක බහා තිබූ මුදල් තොගයක් බැංකුවේ පිටුපස දොරටුවෙන් පිටත නතර කර තිබූ මෝටර් රථයක් වෙත රැගෙන යමින් සිට ඇත. එම අවස්ථාවේදී මුදල් ප්‍රවාහනයට අදාළ ආරක්ෂක නිලධාරියා බැංකුව තුළ සටහන් පොතක අත්සන් තබමින් සිට ඇති අතර, ඒ අතරතුර පා ගමනින් පැමිණි තනි පුද්ගලයෙකු එක්වරම ක්‍රියාත්මක වී අදාළ මුදල් මලු දෙක උදුරාගෙන පලාගිය බවට බැංකු පාර්ශ්වය විසින් මුලින්ම ප්‍රකාශ කර තිබුණි. මෙම සිද්ධිය වූ වහාම බැංකු කළමනාකරු විසින් ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ද දැනුම් දී තිබේ.
බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබාගන්නා ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණද, පිටුපස දොරටුවට හෝ ඒ අවට ප්‍රදේශයට සීසීටීවී ආවරණයක් නොමැති වීම මෙන්ම මුදල් රැගෙන පලායන පුද්ගලයෙකු පිළිබඳව අවට කිසිදු කැමරාවක සටහන්ව නොතිබීම හේතුවෙන්, මෙය බැංකුවේ අභ්‍යන්තර ඔත්තුවක් හෝ සේවකයින්ගේ සම්බන්ධතාවක් සහිතව සැලසුම් සහගතව සිදුකළ කොල්ලයක් බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කළේය.
ඒ අනුව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියමයෙන් මෙම මහා පරිමාණ මුදල් කොල්ලය පිළිබඳ විමර්ශන කටයුතු බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්නගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත භාර කෙරිණි.
සැබෑ හේතුව සහ අත්අඩංගුවට ගැනීම
විමර්ශන කණ්ඩායම් විසින් සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹට රැගෙන ගිය අතර, එහිදී ඔවුන් ලබාදුන් ප්‍රකාශවල ඇති පරස්පරතා මත මෙය ඔවුන් දෙදෙනාගේම වංචාවක් බව හෙළි විය.
සහකාර කළමනාකරු විසින් කලක සිට වරින් වර බැංකුවෙන් අනීතිකව මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම මුදල් හිඟය වසන් කිරීමේ අරමුණින් අදාළ ආරක්ෂක නිලධාරියා සමඟ එක්ව මෙම ව්‍යාජ කොල්ලය සැලසුම් කර ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරයි.



