Latest Posts

චීන කටු වෙදකමට මුවා වී කෝටි ගණනක මූල්‍ය ජාවාරමක්! කොළඹ 7 පදිංචි ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දැඩි දඬුවම්!

වෛද්‍ය වෘත්තියේ ගෞරවය සහ විශ්වාසය පලිහක් කරගනිමින්, ව්‍යාපාරික කටයුතු සඳහා යැයි පවසා පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 47.6 ක (කෝටි 4.76 ක) අතිවිශාල මුදලක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචා කළ චීන කටු වෛද්‍යවරයෙකු නඩු හතරකටම වරදකරු කරමින් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා ඊයේ (20) දැඩි දඬුවම් නියම කළේය.

මෙලෙස අධිකරණය හමුවේ වරදකරු වී දඬුවම් ලැබුවේ අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 ලිපිනයේ පදිංචි, කළුබෝවිල දුටුගැමුණු මාවත ප්‍රදේශයේ චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන ප්‍රසාද් දේශප්‍රිය නමැති වෛද්‍යවරයෙකි.

පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාර හා ප්‍රවර්ධන ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරික පී. සුදර්ශන මංගල මහතා විසින් සිය නීතිඥවරුන් වන ජීවන්ත ජයතිලක සහ තිලංක පොල්ගම්පොළ යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 2010 වසරේදී කළුබෝවිල සායනය හරහා ඇති වූ දැනහැඳුනුම්කම මත, විත්තිකාර වෛද්‍යවරයා සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් යැයි පවසමින් නැවත ගෙවීමේ පොරොන්දුව මත ව්‍යාපාරිකයාගෙන් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන තිබේ. ඒ අනුව, 2022 නොවැම්බර් සිට 2023 මාර්තු දක්වා කාලය තුළ පමණක් විත්තිකරු විසින් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති මුළු මුදල රුපියල් මිලියන 47.6 කි.

ලබාගත් මුදල් පියවීම සඳහා නුගේගොඩ පෞද්ගලික බැංකුවක සිය ගිණුමෙන් චෙක්පත් 5 ක් වෛද්‍යවරයා විසින් ලබා දී ඇතත්, ඒ සියල්ල බැංකුව මගින් අගරු (Bounced) කර තිබේ. ඉන් නොනැවතුණු විත්තිකරු, ඉතිරි රුපියල් මිලියන 40 ක මුදල ඉල්ලා සිටි අවස්ථාවේදී ලබාදුන් චෙක්පත් 4 න් රුපියල් මිලියන 20 ක් වටිනා චෙක්පත් දෙකක් ද අගරු වීමට සලස්වා ව්‍යාපාරිකයාව දැඩි ලෙස රැවටීමට ලක් කර ඇති බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.

ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා, වරදකරු වූ වෛද්‍යවරයාට එරෙහිව නඩු හතරටම අදාළව සමස්ත රුපියල් 4,760,000 ක (ලක්ෂ 47.6 ක) දඩ මුදලක් සහ පැමිණිලිකරුට ගෙවීම සඳහා රුපියල් 800,000 ක (ලක්ෂ 8 ක) වන්දි මුදලක් නියම කළේය.

එක් එක් නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද දඬුවම් මෙසේය: පළමු නඩුව වෙනුවෙන් විත්තිකරුට මාස 06 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5 කට අත්හිටුවීමට නියෝග කළ අතර, ඊට අමතරව රුපියල් ලක්ෂ 20 ක (රු. 2,000,000) දඩ මුදලක් සහ පැමිණිලිකරුට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 2 ක (රු. 200,000) වන්දි මුදලක් ද නියම කළේය. දෙවන නඩුවට අදාළව ද මාස 06 ක සිරදඬුවමක් නියම කර එය වසර 5 කට අත්හිටුවූ අතර, රුපියල් ලක්ෂ 20 ක (රු. 2,000,000) දඩ මුදලක් සහ රුපියල් ලක්ෂ 2 ක (රු. 200,000) වන්දි මුදලක් නියම කෙරිණි. තෙවන නඩුව වෙනුවෙන් මාස 03 ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 5 කට අත්හිටුවා රුපියල් 360,000 ක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂ 2 ක (රු. 200,000) වන්දි මුදලක් නියම කළේය. සිව්වන නඩුවට අදාළව ද මාස 03 ක සිරදඬුවමක් නියම කර එය වසර 5 කට අත්හිටුවූ අතර, රුපියල් ලක්ෂ 4 ක (රු. 400,000) දඩ මුදලක් සහ පැමිණිලිකරුට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 2 ක (රු. 200,000) වන්දි මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

අධිකරණය විසින් නියම කරන ලද රුපියල් ලක්ෂ 8 ක වන්දි මුදල ගෙවීම සඳහා මෙම නඩු පෙබරවාරි 02 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, රුපියල් ලක්ෂ 47.6 ක දඩ මුදල ගෙවීම සඳහා මැයි 11 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිලිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක සහ තිලංක පොල්ගම්පොළ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

-HariDeshayaLk විශේෂ වාර්තාකරු –

Latest Posts

spot_imgspot_img