Latest Posts

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි කරුණු 3ක් පිළිගනියි – සාක්ෂි විභාගය ජුනි 17 ඇරඹේ

ලංකා පොහොර සමාගමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවට අදාළව, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ කරුණු කිහිපයක් අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

මහාධිකරණයේ පැවති පූර්ව නඩු විභාගයේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද කරුණු 31ක් අතුරින් කරුණු 3ක් තමා පිළිගන්නා බව හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අදාළ වංචාව සිදුවූ බව කියන කාලසීමාව තුළ තමන් ලංකා පොහොර සමාගමේ සේවය කළ බවත් එම සමාගමේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවත් හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පිළිගනු ලැබූ කරුණු අතර වේ.

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් පෞද්ගලික සමාගමකට අයුතු මූල්‍ය ලාභයක් ලබා දීම සහ ඒ හරහා රජයට රුපියල් මිලියන 8.8ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විට ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

අධිකරණ නියෝග සහ නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග

මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා මෙහිදී විත්තිකාර පාර්ශවයට නියෝග කළේ විත්තිකරු විසින් පිළිගත් කරුණු තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි. නඩුවේ සාක්ෂි විභාගය ජුනි 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු කැඳවීමට නියමිතය.

පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ අසිත ඇන්තනී මහතා පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට දින 6ත් 7ත් අතර කාලයක් අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත්, විත්තියේ නීතිඥයන් ඉල්ලා සිටියේ තම සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා දින 3ක් ප්‍රමාණවත් බවයි.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

කුමාර ජයකොඩිට විපක්ෂයෙන් චෝදනා කරන ගල් අඟුරු වංචාව සහ එහි දේශපාලන පසුබිම

ලංකා පොහොර සමාගමේ නඩුවට අමතරව, කුමාර ජයකොඩි මෑතකදී දැඩි දෝෂාරෝපණයට ලක්වූයේ මෙරට ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන ගල් අඟුරු මිලදී ගැනීමේ වංචාව හේතුවෙනි.

බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් වන සේ ගල් අඟුරු ආනයනය කර තිබෙන බවට ඔහුට චෝදනා එල්ල විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශන සහ එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ ඔහුට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

ගල් අඟුරු වංචාව සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බව වාර්තා වේ. දැනට ඔහු පොහොර සමාගම් වංචාවට අදාළව ඇප මත මුදා හැර සිටී.

එල්ල වන දැඩි දෝෂාරෝපණ හමුවේ, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තමන් කිසිඳු වංචාවකට සම්බන්ධ වී නොමැති බවත් විමර්ශනවල විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බවත්ය.

කෙසේ වෙතත් මෙම ගල් අඟුරු චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට අමතරව වත්මන් ආණ්ඩුවටම විපක්ෂය විසින් දැඩිව චෝදනා එල්ල කළ අතර මේ වෙනුවෙන් ජනාධිපතිවරයා මැදිහත්ව පුර්ණ බලැති විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේය. ජනධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව සඳහා දැනට අධිකරණයේ සේවය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කර ඇත.

Latest Posts

spot_imgspot_img