Latest Posts

රතු කොඩි අස්සේ සැඟවුණු “අකුරු හතරේ” රහස සහ බස් ටෙන්ඩරයේ වීරත්වය..!

මැයි දිනය කියන්නේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන දවස වුණාට, අපේ රටේ දේශපාලන කරළියේ මැයි දිනය කියන්නේ “සමාජ ප්‍රාග්ධනය” (Social Capital) නාමයෙන් කෙරෙන මහා පරිමාණ ගනුදෙනු සහ “ඩීල්” ප්‍රදර්ශනයක් බව දැන් රහසක් නෙවෙයි.

බස් හතරේ “නොමිලේ” ආශ්චර්යය!

කතාව පටන් ගන්නේ බස් ටෙන්ඩරයකින්. අපේ එකෝමත් එක නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ ටෙන්ඩරය අස්සෙන් රෝද හතරේ බස් හතරක් “නොමිලේම” ශ්‍රී.ලං.ග.ම ට ලබා ගත්තා කියලා පාරම් බෑවේ ඉස්සර නම් ඕවා ගියේ ඇමතිගේ සාක්කුවට කියලයි.

පිට්ටනිය සකසන “මුට්ටිය අල්ලන” ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා

ඊළඟ ජවනිකාව රඟදැක්වෙන්නේ මැයි රැලිය පැවැත්වෙන පිට්ටනිය අසලදී. නියෝජ්‍ය ඇමතිවරයා යටතේ තියෙන රාජ්‍ය ආයතනයකට දැන් වැඩ වැඩියි. හැබැයි ඒ රාජ්‍ය සේවය කරන්න නෙවෙයි; මැයි රැලියට පිට්ටනිය ඉස්සරහ ගේට්ටුව හදන්න. මේ වැඩේ භාර දීලා තියෙන්නේ ආණ්ඩුවට හොඳටම “මුට්ටිය අල්ලලා” තනතුරක් දාගත්ත ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකුට. ඔහු තමන්ගේ තනතුරේ පැවැත්ම තහවුරු කරගන්න තමන් යටතේ ඉන්න කොන්ත්‍රාත් කරුවන් ලව්වා පක්ෂයේ මැයි රැලියේ පිට්ටනියට එන පිවිසුම සකසනවා. කලින් නම් මේවා කලේ පක්ෂයේ සහෝදරත්වය දැන් සහෝදර කොන්ත්‍රාත් සමාගම්.

අකුරු හතරේ “අද්භූත” සමාගම
මේ ඔක්කොම කුණු ටික වහන්න පාවිච්චි කරන්නේ අකුරු හතරක නමක් තියෙන ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමක්. පිවිසුම සකසන්නේ ඔවුන්. හැබැයි මේක “නොමිලේ” කරන සේවයක් කියලා කවුරුහරි හිතනවා නම් ඒක මෝඩකමක්.

“දේශපාලනයේදී කිසිවක් නිකන් ලැබෙන්නේ නැත.”

මේ කොන්ත්‍රාත් සමාගම අද දේශපාලනඥයාගේ හිත සතුටු කරන්න කරන වියදම, හෙට දවසේ ඔවුන්ගේ කොන්ත්‍රාත් එක ඇතුළේ “හිමිකම්” (Claims) විදිහට රජයෙන්ම අය කරගන්නවා. අවසානයේදී පක්ෂයේ මැයි රැලියට වක්‍රව වියදම් කරන්නේ මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවයි.

වමේ වෙස් මුහුණ සහ රාජපක්ෂවාදී උරුමය
ඉස්සර රාජපක්ෂලා කළෙත් මේ සෙල්ලමම තමයි කියලා හැමෝම දන්නවා. හැබැයි පුදුමේ කියන්නේ, “වමේ” පක්ෂයක් කියලා කියාගන්නා, සමාජ සාධාරණත්වය ගැන කතා කරන පිරිසකුත් අද ඒ පරණ කුණු පාරේම ගමන් කිරීමයි. ඔවුන් “සමාජ ප්‍රාග්ධනය” කියලා හඳුන්වන්නේ තමන් සතු දේශපාලන බලය පාවිච්චි කරලා ව්‍යාපාරිකයන් ලවා තමන්ගේ වැඩ කරවා ගැනීමයි.

රතු කමිස ඇඳගෙන, අත මිට මොලවා “කම්කරු පීඩිත පන්තිය” ගැන කෑගසන වේදිකාව යට තියෙන්නේ මෙන්න මෙහෙම අශුද්ධ ගනුදෙනු මාලාවක්. අවසානයේදී මැයි දිනය වැඩ කරන ජනතාවට අයිති වුණත්, එහි “ප්‍රතිලාභ” භුක්ති විඳින්නේ ඇමති නම පෙන්නලා පිට රට සංචාර යන ඇමතිවරුයි, ඔවුන්ට කඩේ යන ව්‍යාපෘති අධ්‍යක්ෂවරුයි, අකුරු හතරේ සමාගම්වල මුදලාලිලායි විතරයි.

Latest Posts

spot_imgspot_img