සෙනසුරාදා දිනයේත් උත්පාදනය කළ යුතු මෙගවොට් ප්‍රමාණය නිපදවීමට නොරොච්චෝල බලාගාරයට නොහැකි වූ බවත් 15 වැනිදා ඉරිදා දින ද ලක්විජය නොරොච්චෝල බලාගාරයේ නියමිත මෙගවොට් 810 නිපදවීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

පළමු ඒකකයෙන් මෙගවොට් 216ක්, දෙවැනි ඒකකයෙන් මෙගවොට් 230ක් සහ තෙවැනි ඒකකයෙන් මෙගවොට් 232ක් උත්පාදනය කර ඇති බවත් ඊයේ දවසේද මෙගවොට් 678ක් පමණක් නිෂ්පාදනය කර ඇති බවත් මෙයට හේතුව ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් රජය බාල ගල් අගුරු යෙදවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ බාල ගල් අගුරු නිසා නිපදවන මෙගවොට් ප්‍රමාණය අඩුවන විට ඉන්ධන බලාගාර හරහා විදුලිය නිපදවිමට සිදුවන බවත් ඒ ආකාරයෙන් ඉන්දන බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරන විට නිෂ්පාදන පිරිවැය වැඩි වී ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කරන බවත් එවිට විදුලි ඒකකයට අය කරන මුදල වැඩි කිරීමට සිදුවන බවත් විපක්ෂ නායකවවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ විදුලි බිල වැඩි කර 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකන්ට එහි බර පැටවීම බවත් වාර්තා වන ආකාරයට ඉදිරියේදී විදුලි බිල පවා වැඩි වීමට නියමිත බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදිරිපත් කර විදුලි බිල වැඩි කිරීමේ නින්දිත දැවැන්ත උත්සාහයක වත්මන් ජනතා විරෝධී රජය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එබැවින් රජය නොරොච්චෝල විදුලි බලාගාරයට මේ බාල ගල් අගුරු යෙදවීම ගැන කරුණාකර රටට සත්‍ය හෙළිකළ යුතු බවත් දිනපතාම මේ ආකාරයෙන් අවශ්‍ය මෙගවොට් ප්‍රමානය නිෂ්පාදනය නොවීම නිසා ඉන්ධන බලාගාරවලට යාම තුළ විදුලි බිල ඉහළ දැමීම ජනතා විරෝධී ක්‍රියාවක් බවත් මෙය ජනතාව සමග ඇති කර ගත් සමාජ සම්මුතිය උල්ලංඝනය කිරිමක් බවත් මේ බොරුවට වංචාවට රජය වගකිවයුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
තවද මැදපෙරදිග යුද්ධය මත පටවා විදුලි බිල වැඩි කිරිමට ඉඩ දිය නොහැකි බවත් එසේ වුවහොත් ජනතාව සමග මහපාරට බැස ජනතාවට කරුණු ඉදිරිපත් කර විදුලි බිල ඉහල දැමීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



