හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී. පළමු සහ දෙවන ගල් අඟුරු තොග ලෙස මෙරටට බාල ගල් අඟුරු එවූ ‘ටයිඩන්ට් චැම්පා’ (Trident Champa) ඉන්දීය සමාගමට අයත් තවත් ගල් අඟුරු නැව් පහක් මේ වන විටත් දිවයින බලා පිටත් වී තිබේ.
රටේ මහජනතාව ප්‍රශ්න කරන්නේ, පෙර නැව් දෙකේ බාල බඩුවලටත් ජනතා මුදල් ගෙවූ ආණ්ඩුව, ඉදිරියට එන මේ නැව් පහේ “කුණු” වලටත් ඩොලර් පූජා කිරීමට සැරසෙන්නේද යන්නයි.
‘ටයිඩන්ට් චැම්පා’ ආධුනිකයෙකු වූයේ කොහොමද?
පුබුදු ජයගොඩ සිය විග්‍රහයේදී ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ, මෙතරම් දැවැන්ත ගනුදෙනුවක් සඳහා මෙම සමාගම තෝරාගත් ආකාරය තුළම වංචාව සැඟවී ඇති බවයි.
“ලංකාවේ ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය තුළ මීට පෙර අත්දැකීම් ඇති සමාගම්වලට ප්‍රමුඛතාවය හිමිවිය යුතු වුවත්, ටයිඩන්ට් චැම්පා සමාගම මෙවර ටෙන්ඩරයට ඇතුළත් කරගෙන ඇත්තේ ‘ආධුනික සමාගමක්‘ (Novice Supplier) ලෙසයි. ප්‍රවීණ සමාගම් පසෙකලා, දූෂණ චෝදනා සහිත මව් සමාගමක ශාඛාවක් වන මේ ආධුනිකයාට රුපියල් කෝටි දාහක ටෙන්ඩරය පිරිනැමීම පිටුපස ඇත්තේ බලශක්ති ඇමතිවරයාගේ මැදිහත්වීමද?”
නැව් පහේ තර්ජනය සහ වාරකන් අනතුර
දින පහෙන් පහට පරතරයක් සහිතව මෙම නැව් පහ ලංකාවට එවීමට දැනටමත් සැලසුම් කර ඇත. මෙහි ඇති ප්‍රායෝගික අර්බුදය වන්නේ ‘වාරකන්’ (Monsoon) කාලයයි.
- තාක්ෂණික ගැටලුව: නැවෙන් බාජ් (Barge) එකට දමා, එතැන් සිට නොරෙච්චෝලයට ගල් අඟුරු ප්‍රවාහනය කළ යුතුය. මෙය වාරකන් කාලය ආරම්භ වීමට පෙර අවසන් කළ යුතුය.
- බලශක්ති අර්බුදය: වාරකන් කාලය පැමිණියහොත් බාජ් මගින් ගල් අඟුරු ගෙනයාම කළ නොහැකි වේ. එවිට නොරෙච්චෝල බලාගාරය අක්‍රිය වන අතර මුළු රටම අඳුරේ ගිලෙන විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇත.
ඇමතිවරයාගේ ‘චෙක්මේට්’ ක්‍රීඩාව
විෂය භාර ඇමතිවරයා මේ වන විට සිටින්නේ උභතෝකෝටිකයක නොව, සූක්ෂ්ම ලෙස නිර්මාණය කළ උගුලකය.
- මේ මොහොතේ ටෙන්ඩරය අවලංගු කළහොත් දෙවනුවට සිටින සමාගමට අවස්ථාව දිය යුතුය.
- නමුත් එසේ කිරීමට කාලය මදි බව පවසමින්, බාල ගල් අඟුරු බව දැන දැනම ටයිඩන්ට් චැම්පා සමාගම සමඟ ගනුදෙනුව ඉදිරියට ගෙන යාමට ඇමතිවරයා සැරසෙයි.
සමාජ මාධ්‍ය හරහා එල්ල වන ප්‍රබල චෝදනාව වන්නේ මෙය ඇමතිවරයා විසින්ම “තමාගේ හිතවත් සමාගමකට” වාසි සැලසීමට හිතාමතා නිර්මාණය කළ තත්ත්වයක් බවයි.
රජයට පාඩුවක්ද? සප්ලයර්ගෙන් අය කරගැනීමක්ද?
රජය දැන් කළ යුත්තේ බාල ගල් අඟුරු ලබාදීම හේතුවෙන් රජයට සිදු වූ මූල්‍ය අලාභය අදාළ සප්ලයර් සමාගමෙන් (Trident Champa) අය කරගැනීමයි.
නමුත්, ‘හොරු ඇල්ලීමට ආ‘ ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙල දෙස බලන විට පෙනෙන්නේ රජයට වන ‘ලොස්ට්‘ එක ජනතාව මත පටවා, අදාළ දූෂිත සමාගමට ඩොලර් පූජා කරන බවයි. මෙම ගනුදෙනුව සාධාරණීකරණය කිරීමට (Justify) රජය උත්සාහ කළද, ජනතාව බල කර සිටින්නේ “ටෙන්ඩරය අවලංගු කිරීම ඔප්ෂන් එකක් නොවේ නම්, සිදු වූ සහ සිදුවන සියලු පාඩු සප්ලයර් සමාගමෙන්ම පියවා ගත යුතු” බවයි.
දූෂණයේ අලුත් ‘විලාසිතාව‘ සහ ජනාධිපතිගේ නිහඬ පිළිවෙත
මෙම ටෙන්ඩරය දූෂිත බවත්, මෙයට කැබිනට් අනුමැතිය නොදිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාට කල්තියාම හෙළිදරව් කර තිබුණි. එහෙත් වර්තමානය වන විට පෙනෙන්නට ඇත්තේ වෙනස්ම චිත්‍රයකි.
බලයට පත්වීමට පෙර සිටි ‘අනුර කුමාර‘ සහ බලයට පත් වූ පසු සිටින ‘ජනාධිපති දිසානායක‘ යනු පුද්ගලයන් දෙදෙනෙකු බව දැන් දැන් පැහැදිලි වෙමින් පවතී. කවරෙකු කුමක් කීවත්, තමන් කරන දෙයම නිවැරදි යැයි සිතන ‘පුහු මාන්නය‘ සහ ‘උද්දච්චකම‘ වත්මන් මාලිමා පාලනයේ නවතම විලාසිතාව වී ඇත. අනෙක් අය පෙන්වා දෙන දූෂණ ගැන සොයා බලනු වෙනුවට, කිසිවක් නොඅසා තමන්ට රිසි පරිදි වැඩ කරන මෙම රටාව තුළ, ‘දූෂණය පිටුදැකීම‘ යනු හුදෙක් වේදිකාවලට පමණක් සීමා වූ ආකර්ෂණීය සටන් පාඨයක් පමණක් බවට පත් වෙමින් තිබේ.
මෙම ගනුදෙනු යට තව කොපමණ පිරිසක් සැඟවී සිටිනවාද යන්නත්, “හොරු අල්ලන” සෙල්ලම ජනතාව මුලාවට පත් කරන තවත් එක් දේශපාලන නාටකයක් පමණක් ද යන්නත් සමාජ මාධ්‍ය තුළ දැන් ප්‍රශ්න කෙරෙමින් පවතී.
ඉදිරියේදී එන තවත් හෙළිදරව්වක්!
කෙසේ වුවද බලශක්ති ඇමතිවරයාගේ මෙවැනිම වූ තවත් දූෂිත ගනුදෙනු මාලාවක් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන්ද සිදුවෙමින් පවතින බව අපට වාර්තා වේ. තමන්ගේ පුද්ගලික උවමනාවන් හෝ කොමිස් වෙනුවෙන් රටේ බලශක්ති සුරක්ෂිතතාවය පාවා දෙන ඇමතිවරයාගේ එම ක්‍රියාවන් පිළිබඳ "හරි දේශය" ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළිදරව් කරනු ඇත.



