අවුරුදු තුනක් තිස්සේ ‘Mystery’ එකක් වෙලා තිබුණු, රටේම අවධානය දිනාගත්තු දිනේෂ් ශාෆ්ටර් ඝාතන සිද්ධියේ ඇත්ත නැත්ත ගැන හොයලා බලපු, ‘Investigative Report’ එකට මේ වෙද්දි මොකක්ද වෙලා තියෙන්නේ?
මේ විමර්ශනය දැන් අලුත් ආණ්ඩුවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂශානි අබේසේකර මහත්තයාගේ මේසෙට ගිහින් තිබ්බත්, මේක පිටිපස්සේ තියෙන කැත ගේම් එක තවමත් හිතාගන්නවත් අමාරුයි.
ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වගේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් වූ දිනේෂ් ශාෆ්ටර්ව 2022 දෙසැම්බර් 15 වැනිදා මහා දවාලේ කොළඹ බොරැල්ල කනත්තේදී ඝාතනය කරලා අදට (දෙසැම්බර් 15) වසර තුනක් සම්පූර්ණ වෙනවා.
මොකක්ද වුණේ?
- සිදුවීම: 2022 දෙසැම්බර් 15 දා සවස 2-3 අතර බොරැල්ල කනත්ත භූමියේදී, ඔහුගේම මෝටර් රථය තුළදී ශාෆ්ටර් මහතා සොයා ගැනෙනවා.
- තත්ත්වය: ඔහුගේ දෑත් පිටුපසට බැඳ, මෝටර් රථයේ රියදුරු අසුනට තබා වයරයකින් ගැටගසා, ප්ලාස්ටික් වයරයකින් ගෙල සිරකර මරණාසන්නව සිටියා.
- සොයාගැනීම: ඔහු සොයාගනු ලැබුවේ ව්‍යාපාරික සගයෙකු වූ ක්‍රිෂ් පෙරේරා විසින්. ශාෆ්ටර්ගේ බිරිඳ ටානි ශාෆ්ටර් GPS තාක්ෂණය ඔස්සේ සැමියා සිටින ස්ථානය සොයාගෙන ක්‍රිෂ්ට මේ බව දැනුම් දී තිබුණා.
- ප්‍රතිඵලය: කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් දිනේෂ් ශාෆ්ටර් මහතා මිය ගියා.
ප්‍රධාන සැකකරු බ්‍රයන් තෝමස් වටා වූ 'Money Mystery'
ශාෆ්ටර් මිය යන්නට කලින් තම නිවසින් පිටව ගියේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් (BT) හමුවීමට යන බවට බිරිඳට පවසමින්.
- ණය කතාව: බ්‍රයන් තෝමස් ශාෆ්ටර්ගෙන් රුපියල් කෝටි 143 ක විශාල ණයක් ලබාගෙන එය ගෙවීම පැහැර හැර තිබුණා. මේ නිසා ශාෆ්ටර් නඩු පැවරීමෙන් තෝමස්ට රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමටත් සිදුවී තිබුණා.
- පවුලේ මතය: ශාෆ්ටර් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිත හොඳ කෙනෙක් වුවත් ඔහුට සිටියේ එකම තරහකාරයෙක් – ඒ බ්‍රයන් තෝමස් බව ඔහුගේ පවුලේ අයගේ මතය වුණා.
- CID විමර්ශන: තෝමස් එදින ශාෆ්ටර් හමුවීම ප්‍රතික්ෂේප කළ බවට සාක්ෂි ලැබුණත්, CIDයට ඔහු සිද්ධියට සම්බන්ධ බවට තහවුරු කරගන්නට නොහැකි වූ බව වාර්තා වුණා. එහෙත් ඔහුට විදේශගත වීම තහනම් වුණා.
ශාෆ්ටර් පවුලේ විශ්වාසය වුණේ, මේ කෝටි 143 ණය ගෙවීම පැහැර හැරීමටත්, පළිගැනීමටත් තෝමස් විසින් කිසියම් බලවත් පාර්ශ්වයක සහාය ඇතිව ශාෆ්ටර්ව ඝාතනය කරන්නට ඇති බවයි.
CID ය සහ 'Dirty Game' එක
ශාෆ්ටර්ගේ මරණය මිනී මැරුමක් ලෙස පරීක්ෂණ ආරම්භ කළත්, සිදුවීම් කිහිපයක් නිසා පරීක්ෂණයේ දිශාව වෙනස් කිරීමට එවකට පොලිසියේ සිටි බලවත් පාර්ශ්වයන් උත්සාහ කළ බවට බරපතළ චෝදනා එල්ල වෙනවා.
| සිදුවීම | කථාංගය පෙරළීම | ‘Controversy’ (ආන්දෝලනය) |
| පරීක්ෂණ භාරදීම | එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පරීක්ෂණ CID යේ සමූහ මංකොල්ල හා මිනී මැරුම් අංශයටත්, ඔහුගේ විශ්වාසවන්ත ගෝලයා වූ SSP හේමාල් ප්‍රශාන්ත වෙතත් භාර දුන්නා. | දේශබන්දු සහ හේමාල් ප්‍රශාන්ත වටා දුෂණ චෝදනා තිබූ නිසා මෙය සැකයට හේතු වුණා. |
| සාක්ෂි නොසැලකීම | සිද්ධිය වූ ස්ථානයේ සිට කෙට්ටු උස පුද්ගලයෙක් පැන ගිය බවට ක්‍රිෂ් පෙරේරා සහ කනත්තේ සේවකයෙක් සාක්ෂි දුන්නත්, විමර්ශකයන් ඒ ගැන නොසෙව්වා. | ඝාතකයා සොයා ගැනීමට වැදගත්ම වූ මේ සාක්ෂිය යට ගැසීමට උත්සාහ කළා. |
| වෛද්‍ය වාර්තා | මුලින් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් පැවසුවේ ගෙල සිරවීමෙන් මරණය සිදුවූ බවයි. නමුත් දෙවන වාර්තාවෙන් කීවේ සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් මරණය සිදුවූ බවයි. | වෛද්‍ය වාර්තා දෙක අතර තිබූ අහසට පොළව වැනි වෙනස නිසා CID යට මිනී මැරුම, සියදිවි නසා ගැනීමක් බවට හැරවීමට ඉඩ ලැබුණා. |
| නිවස පරීක්ෂාව | මරණයෙන් දින 10කට පසු රජයේ රස පරීක්ෂක කණ්ඩායමක් යවා ශාෆ්ටර්ගේ නිවස පරීක්ෂා කළ CID ය, එහි තිබී දෑත් ගැටගැසීමට යොදාගත් ‘Plastic Zip Ties’ 8ක් සහ සමාන වයර් කැබැල්ලක් සොයාගත් බව වාර්තා කළා. | ඝාතනයට අවශ්‍ය උපකරණ පසුව නිවසට ගෙනවිත් දැම්මේ CID යේ අනුදැනුම ඇතිව බවට ශාෆ්ටර් පවුල සැක කළා. |
සියදිවි නසා ගැනීමක්ද? මිනී මැරුමක්ද?
දේශබන්දුගේ CID කණ්ඩායම උත්සාහ කළේ: දෑත් පිටුපසට බැඳ, මෝටර් රථයේ අසුනට තදකර ගැට ගසා, ගෙල ප්ලාස්ටික් කේබලයකින් සිර කර සිටි පුද්ගලයෙකු විසින්ම සයනයිඩ් ගෙන සිය දිවි නසා ගත් බවට අධිකරණයට ඒත්තු ගැන්වීමටයි. (මෙය කිසිසේත් කළ නොහැක්කක් බව නීතිවේදීන් හා සාමාන්‍ය ජනතාවගේ මතය වුණා.)
- වෛද්‍ය මණ්ඩල තීරණය: ශාෆ්ටර් පවුල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නගේ ඉල්ලීම මත මෘත දේහය නැවත ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් පරීක්ෂා කළා.
- බහුතර තීරණය: වෛද්‍යවරුන් 4 දෙනෙකුගේ මතය වුණේ, බාහිර පාර්ශවයක් විසින් මුහුණ හා ගෙල මත යොදන ලද පීඩනයකින් ශාෆ්ටර් මිය ගොස් ඇති බවයි. ශරීරයේ තිබූ සයනයිඩ් මරණයට ප්‍රමාණවත් නොවන බවත්, එනිසා මෙය මිනී මැරුමක් බවත් තීරණය වුණා.
- අධිකරණ තීන්දුව: වෛද්‍ය කමිටුවේ බහුතර තීරණය මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් 2023 නොවැම්බර් 01 වැනිදා ශාෆ්ටර්ගේ මරණය මිනී මැරුමක් බවට තීන්දු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කළා.
වර්තමාන රජයට ඇති වගකීම
තාජුදීන් ඝාතනය වැනි බොහෝ අපරාධවලදී මෙන්, බලවත් පුද්ගලයන්ගේ බලපෑම මත හෝ අල්ලස් මත සාක්ෂි යට ගැසීමට පොලිසියේත් අධිකරණ වෛද්‍ය අංශයේත් නිලධාරීන් ක්‍රියා කළ බවට ශාෆ්ටර් සිද්ධියෙන් ද පැහැදිලි වුණා.
- පියාගේ ප්‍රකාශය: ශාෆ්ටර්ගේ පියා වූ චන්ද්‍ර ශාෆ්ටර් මහතා පැවසුවේ තම පුත්‍රයා මරා දැමුවේ බලවත් පුද්ගලයන් බවත්, ඔවුන් තවත් බලවත් පාර්ශ්වයන් සමග එකතුවී එය සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීම “අහස පොලොව නුසුලන අපරාධයක්” බවත්ය.
දැන් මේ ‘Case File’ එක ජනාධිපති අනුරගේ නායකත්වයෙන් යුත් මාලිමා ආණ්ඩුව යටතේ, ශ්‍රී ලංකාවේ ‘ෂර්ලොක් හෝම්ස්‘ ලෙස විරුදාවලී ලත් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයා අතේ තියෙන්නේ.(තවම නම් ශර්ලොක් හොම්ස් වර්ගයේ එකදු නඩුවක්වත් සිදුවෙලා නැහැ)
අධිකරණය මේක මිනී මැරුමක් බවට තීන්දු කරලා තිබියදී, සැබෑ ඝාතකයා සහ ඒ පිටුපස සිටින බලවත් පාර්ශ්වයන් හෙළි කරගැනීම, මේ ආණ්ඩුවට මෙන්ම දූෂණයට එරෙහිව කතා කරන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නායකත්වයටත් ඇති විශාල වගකීමක් වෙනවා.
දැන් ඔබගේ වාරයයි ශානි අබේසේකර මහත්මයාණෙනි!



